අමතක වූ චන්ද්‍රගාමියා’ මයිකල් කොලින්ස් සමුගෙන යයි

නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් ඉතිහාසගත පළමු සඳගමනට එක්වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 90කි. අවුරුදු 90ක් වූ ඔහු දරුණු පිළිකා රෝගයකින් මියගිය බව ඔහුගේ පවුලේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.

1930 වසරේ ඉතාලියේදී උපත ලද මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද මිලිටරි ඇකඩමියට ඇතුළත්ව ඉන් අනතුරුව ගුවන් හමුදාව හා සම්බන්ධ විය. කොලින්ස් පැමිණියේ හමුදා පවුලකිනි. තම පවුල තුළින් ලද ආදර්ශ හා පන්නරයන් නිසා ඔහු හමුදාවට එක්වූ බව සඳහන් වෙයි. ඔහුගේ පියා සහ සහෝදරයා එක්සත් ජනපද හමුදා ජෙනරාල්වරුන් වූ අතර ඔහුගේ මාමා යුදහමුදා මාණ්ඩලික ප්‍රධානියා විය. ඔහු ඒ වෙනුවට එක්සත් ජනපද ගුවන් හමුදාවට හොරෙන් යන්න තීරණය කළේය. 1961දී කොලින්ස් කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ එක්සත් ජනපද ගුවන් හමුදා ටෙස්ට් නියමු පාසලේ ශිෂ්‍යයෙක් ලෙස එක් විය.

1963 වසරේදී නාසා ආයතනය හා සම්බන්ධ වූ මයිකල් කොලින්ස් එහිදී අශ්‍යවකාශ මෙහෙයුම් කිහිපයකට සම්බන්ධ විය. ඔහු දෙවරක් අභ්‍යවකාශයේ පියාසර කර ඇති අතර ඉන් පළමුවැන්න වන්නේ ජෙමිනි 10 මෙහෙයුමයි. ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ පියාසැරිය වන ඇපලෝ 11 යානයේ මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටි නිසා ඔහුට සඳ මත පා තැබීමට නොහැකි වූ බැවින් බොහෝදෙනා ඔහුව හැඳින්වූයේ ‘අමතක වූ චන්ද්‍රගාමියා’ ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top