ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යෑමේ ප්‍රමුඛයකු වූයේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ය. මේ ‘ක්‍රීඩා’ ඔහු ගැන ඔහුගේ මව හා පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ සංක්ෂිප්ත ලිපියකි.
වාසනාව එන්නේ අමුතු විදිහටය. වාසනාව එක්තරා ආකාරයක අමුතු ඉලන්දාරියෙකැයි කිව හැක්කේ එහෙයිනි. ඉලන්දාරි වයසට පතන බොහෝ දේ ලබාගැනීමට හැකියාවක් ඇතැයි කිව හැකි ය. ඉලන්දාරිකම එතරම් අරුමැසි වන්නේ ඒ නිසාවෙනි.
ඔහුට වාසනාවන්ත ඉලන්දාරිකම ලැබෙන්නේ තවත් ක්‍රීඩකයන් පෝලිමක අවාසනාවන්ත භාවය මැදිනි. අප එසේ කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා පිලේ නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙසින් සැලකෙන ලසිත් ඇඹුල්දෙණිය ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වී සිටීම නිසාය. ඔහුගෙන් පසු එම ස්ථානයට සුදුසුකම් සැපිරූවේ යැයි විශ්වාස කළ දේශීය ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභී දඟ පන්දු යවන්නා වූ දුවිඳු තිලකරත්න සම්බන්ධයෙන් තේරීම් කමිටුව සැලකිලිමත් වුව ද ඔහුද සිටියේ ආබාධිත තත්ත්වයක ය.
ඉනික්බිතිව තේරීම් කමිටුව නතර වුණේ තෙවැනි පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය අභිමුව ය. එහෙත් ඔහු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට යෝග්‍ය ශාරීරික තත්ත්වයක සිටියේ නැත. ඉන් අනතුරුව තේරුම් කමිටුවේ තිබූ එකම විශ්වාසය නතර වූයේ ප්‍රවීන් ජයවික්‍රම ගේ දෙපා මුලය. එම තීරණයෙන් දින කීපයකට පසු ඔහු තමන් කවුරුන්ද යන්න හා තමන් කෙරේ විශ්වාසය තැබීමේ අරුමය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදී අවසන් ය.
කවුද මේ ප්‍රවීන්
ප්‍රවීන් ජයවික්‍රම, කළුතර, පලාතොට, අල්විස් වත්තේ පදිංචිකරුවෙකි. ඇගේ මව ‘ක්‍රීඩා’ සල්-ලාපයකට එක් වූයේ ප්‍රවීන්ගේ ජයග්‍රාහී ආරම්භයේ සතුට බෙදා ගැනීමේ අපේක්ෂාව ද සහතිව ය.
‘ප්‍රවීන් කියන්නේ මගේ දෙවැනි පුතා. පවුලේ වැඩිමලා අරුන්, හිරුන් හා මෙවන් කියලා තවත් මල්ලිලා දෙන්නෙක් ප්‍රවීන්ට ඉන්නවා. ප්‍රවීන් පොඩි කාලයේ සිට රූපවාහිනියේ විකාශය වෙන ක්‍රිකට් තරග බලන්න ආසයි. එයා අධ්‍යාපනය ලැබුවේ කළුතර සිරිකුරුස විද්‍යාලයේ. පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දකින නිසාත් ක්‍රිකට් වලට පුතා දැඩි ලොල් බවක් දැක්වුවා.
ලොකු පුතා අරුනුත් අවුරුදු 2 ක් විතර පාසලේ ක්‍රිකට් ගැහුවා. පසුව නැවැත්තුවා. ප්‍රවීන් පොඩි කාලේ ශිෂ්‍යත්ව විභාගයටත් කලින් ක්‍රිකට් තරග තියෙන සමහර දවස්වල පන්ති යන්නේ නැතුව බොරු ලෙඩ අරගෙන රූපවාහිනිය බලනවා. එහෙම අහු වෙලා මගෙන් බැණුම් අහලාත් තියෙනවා.
ශිෂ්‍යත්ව විභාගයට කලින් ඉඳලා ම පුතා ස්කෝලේ ක්‍රිකට් පුහුණුවට යන්න හැදුවා. ඒත් මම යන්න දුන්නේ නෑ. ශිෂ්‍යත්වය සමත් වෙන්න ලකුණු 7ක් විතර මදි වුණා. ඊට පස්සේ තමයි ක්‍රිකට්වලට යැවුවේ. පළමුවෙන්ම පාසලේ ක්‍රිකට් ඇකඩමියට ගියා. සනත් ද අල්විස් සර් තමයි පළමු පුහුණුකරු වුණේ.
ප්‍රවීන්, ඇකඩමියෙන් 13 න් පහළ තේරීම්වලට ගියා. සමන්ත ප්‍රියනාත් සර් තමයි 13 න් පහළ කණ්ඩායමට පුතාව තෝරා ගත්තේ. පළමු අවු-රුද්දෙම 13න් පහළ ‘ඒ’ පිලට ක්‍රීඩා කළා. 2009, 2010 සහ 2011 වසරවල පාසලේ 13 න් පහළ ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළා. අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ දී නෙවිල් වීරසේකර සර් යටතේ තමයි පුහුණු වුණේ. එතැන අවුරුදු 2 ක් ක්‍රීඩා කළා. 15 න් පහළ පළමු අවුරුද්දේ සිටම අවුරුදු 19 න් පහළ දක්වා ක්‍රීඩා කළා. නිමල් දාබරේ සර් තමයි ප්‍රවීන් පුතා ඒ කණ්ඩායමට ක්‍රීඩා කරන්න තෝරා ගත්තේ.
ප්‍රවීන් අවුරුදු 14න් පහළ ක්‍රීඩා කරද්දි අර්ජුන රණතුංග මහතා පාසලට ඇවිත් පුතා ක්‍රීඩා කරනවා දැකලා විදුහල්පති කැමිලස් ප්‍රනාන්දු පියතුමාට කියලා තිබුණා ‘මේ දරුවා බලාගන්න කවදා හරි ජාතික ක්‍රිකට් පිලට එක්වන්න පුළුවන්’ කියලා. විදුහල්පති කැමිලස් ප්‍රනාන්දු පියතුමා මට ඒ බව කිව්වා. සිරිකුරුස විද්‍යාලයේ හිටපු විදුහල්පති කාල්ටන් ද සිල්වා පියතුමා ද ප්‍රවීන්ගේ මේ ගමනට උදවු කළා.
අවුරුදු 15න් පහළ අන්තර් පළාත් තරගාවලියේ දී දක්ෂතම පන්දු යවන්නා වුණා. ලංකා ද සිල්වා සහ චමිල ගමගේ සර්ලා තමයි එම කණ්ඩායමේ පුහුණුකරුවන් වූයේ. 17න් පහළ පළමු අවුරුද්ද ක්‍රීඩා කළා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව රොජර් විජේසූරිය සර්ගේ උදව්වෙන් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් වුණා. 17න් පහළ අවසන් අවුරුද්ද ක්‍රීඩා කළේ නලීන් විජේසිංහ සර් යටතේ.
ඉමාල් බොතේජු සර් යටතේ 19න් පහළ අවුරුදු 3ක් ක්‍රීඩා කළා. පළමු අවුරුද්දෙ ක්‍රීඩා කළේ අවිෂ්ක ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේ. පළමු අවුරුද්දේදී ප්‍රවීන් කඩුලු 90ක් දවාලුවා. 2017/18 තරග වාරයේදී උපනායකයා වුණා. විදුහල්පති බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා, ප්‍රෑන්ක් කුරේ සර්, පුහුණුකරුවන් වු නලීන් විජේසිංහ සර් සහ ඉමාල් බොතේජු සර් ඇතුළු ගොඩාක් අය ප්‍රවීන්ට උදවු කළා.
2016 පැවැති සුපිරි පළාත් තරගාවලියේ දී ප්‍රවීන් ක්‍රීඩා කළේ උතුරු පළාත් පිලට. එහිදී දක්ෂතා දැක්වුවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ පිලට එක්වීමට අවස්ථාව උදාවන්නේ. 2016 දී දකුණු අප්‍රිකා පිලේ ශ්‍රී ලංකා සංචාරයේ දී රෝයි ඩයස් සර් යටතේ ක්‍රීඩා කරනවා. ටෙස්ට් තරග 2 දී කඩුලු 9ක් ලබාගන්නවා. පසුව එංගලන්ත සංචාරයට එක් වෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ වැඩිම කඩුලුලාභි පන්දු යවන්නා වුණා. 2017 දකුණු අප්‍රිකා සංචාරයට, 2017 දී ම ඔස්ට්‍රේලියා සංචාරයට, 2017 මැලේසියාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට සහ නවසීලන්තයේ පැවැති 19 න් පහළ ලෝක කුසලානයට ත් ක්‍රීඩා කරන්න මගේ පුතාට හැකි වුණා.
පළමුවෙන්ම එස්.එස්.සී. පිලට එක්වුණේ අවුරුදු 23න් පහළ කණ්ඩායමටයි. ඒත් ඇඟිල්ලේ ආබාධයක් ඇතිවුණා. පස්සේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කළා. අවුරුදු 23න් පහළ ශුරතාව දිනාගත් කෝල්ට්ස් පිලේ සාමාජිකයෙක් තමයි ප්‍රවීන් කියන්නේ. ඒ ගමන කඩුලු 35 ක් දවාලමින් වැඩිම කඩුලු-ලාභියා වෙන්නත් ඔහුට හැකි වෙනවා. 2019 සිට මේ දක්වා මුවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. 2021 එක්දින තරගාවලියේ පළමු වටයේදි වැඩිම කඩුලුලාභියා වුණෙත් ප්‍රවීන් පුතායි.
මගේ මහත්තයා ඉන්ද්‍රජිත් ජයවික්‍රම 2013 වසරේදී සදහටම අපෙන් සමු ගන්නවා. එතැන් සිට ලොකු පුතා සමඟින් මම අපේ ව්‍යාපාරය කරගෙන යනවා. ලොකු පුතා, අරුන් ව්‍යාපාරයට උදවු කරන අතරතුර නීති විද්‍යාලයේ නීති උපාධිය හදාරනවා. තෙවැනි පුතා මෙවන් 2020 උසස් පෙළ විභාගය සමත් වුණා. ඔහුට ඉංජිනේරු පීඨයට යන්න පුළුවන්. බාල පුතා හිරුන් 2021 වසරේදී උසස් පෙළ ලියන්න ඉන්නේ.
මම මුලදී ප්‍රවීන් පුතා ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙනවාට විරුද්ධ වුණාත් ඊට පසුව මගේ උපරිම සහයෝගය ලබාදුන්නා. අවුරුදු 15න් පහළ සිට මේ දක්වා ප්‍රවීන් පුතාට ගුරුහරුකම් දුන්නේ චමිල ගමගේ සර්. පුතා ළඟදී එංගලන්තේ ක්‍රීඩා සමාජාන්තර තරගාවලියකට ක්‍රීඩා කරන්න එරටට යන්න හිටියේ. ඒත් චමිල සර් කිව්වා යන්න එපා පුහුණු වීම් කරන්න, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා.
ඇත්තෙන්ම අද පුතාගේ දක්ෂතා ගැන සන්තෝෂයි. ප්‍රවීන් කියන්නේ කලබලකාරී චරිතයක් නොවෙයි. හැම තීරණයක්ම හොඳට හිතලා ගන්න කෙනෙක්. එයා අයියා සහ මාත් එක්කත් කතා කරලා තමයි හුඟාක් තීරණ ගන්නේ. පුතාට අවස්ථාවක් ලැබුණොත් ඉදිරියේ දී මෙලෙසින් දස්කම් දක්වාවි කියා මට විශ්වාසයි.’