ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශ පිල හමුවේ එක්දින තරගාවලියක් පරාජයට පත්වීමට පිතිකරුවන් වගකිව යුතු බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කළේය.
දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය හමුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 103ක අන්ත පරාජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල තරග 3 කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් පරාජයට පත් විය.
‘පරාජයට පත් වීම ඉතා කනගාටුදායකයි. අත්දැකීම් අඩු කමත් මේකට හේතු වුණා. තරග 2දීම අපේ මැදපෙළ පිතිකරණය බිඳ වැටුණා. මේ ගැන අපේ පිතිකරුවන් එක්ක කතා කරන්න ඕනෑ.‘ තරගයෙන් පසු කුසල් ජනිත් කියා සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු එක්දින තරගයෙන් ලකුණු 33ක පරාජයක් ලැබූ අතර, මේ තරග 2 දීම නායක කුසල් ජනිත් පිළිවෙළින් ලකුණු 30කට සහ 14කට දැවී ගියේය. පළපුරුදු පිතිකරු උපනායක කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 24ක් සහ 15ක් පමණි. ධනංජය ද සිල්වාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 9ක් සහ 10ක් පමණි. අෂේන් බණ්ඩාර ලකුණු 3කට සහ 15කට දැවී යද්දී දසුන් ශානක ලබා ගත්තේ ලකුණු 14ක් සහ 11ක් පමණි. කුසල් සමඟ ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක පළමු තරගයේදී ලකුණු 21ක් ද, දෙවැනි තරගයේදී ලකුණු 24ක් ද රැස් කළේය.
‘පිතිකරුවන් උපරිම හැකියාවන් පෙන්නුම් කළ යුතුව තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ පිතිහරඹ ශක්තිය ගැන විශ්වාසයක් නැත්නම් අපට ගොඩ එන්න බෑ. බය නැතිව පිත්ත හසුරුවන්න ඔවුන් දැනගත යුතුයි.‘ කුසල් ජනිත් වැඩි දුරටත් එසේ කීවේය.