27 හැවිරිදි ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී ඇමරිකාව බලා යාමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ලබන 14 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර එතැන් සිට ඔහු ක්‍රීඩකයෙක් ලෙසින් එරට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වනු ඇතැයි පැවසේ.
අමිල අපොන්සු, 2016 වසරේ අගෝස්තු 21 වැනිදා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඔස්ට්‍රේලියාව සමගින් පැවැති අදාළ තරගයේදී ලකුණු 27කට එක් කඩුල්ලක් දවා ගැනීමට ඔහු සමත් විය. පළමු තරගයේදීම නිලකුණු පන්දුවාරයක් සමගින් පන්දුවාර 10 ක්‍රියාත්මක කළ අමිලට එරෙහිව ප්‍රභල ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට එක් හයේ පහරක් හෝ හතරේ පහරක් වාර්තා කිරීමට නොහැකි වීමද විශේෂ සිදුවීමක් විය.
එම තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි තරගයේදීම සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කිරීමට අමිලට හැකි විය. කොළඹ ප්‍රේමදාස පිටියේ පැවැති එම දෙවැනි තරගයේදී අමිල ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලකුණු 18කදී කඩුලු 4ක් දවා ගත් අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 82ක පහසු ජයක් හිමි වූයේය.
එක්දින ජාත්‍යන්තර වරම් ලබා වසර දෙකකට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග වරම් දිනා ගත්තද, අමිලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ විස්සයි විස්ස තරග 3ක් පමණි.
2018 වසරේ ඔක්තෝබර් 20 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැති තරගයෙන් පසුව අමිලට ජාත්‍යන්තර එක්දින තරග අවස්ථාවක් නොලැබුණු අතර ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවිය වසර 2කට සහ තරග 9කට (එක්දින කඩුළු 10ක්) සීමාවිය. ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට සහභාගි වී ඇත්තේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීම එංගලන්තයට එරෙහිවය. එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ අවස්ථාවක් නොලැබුණිද, අමිල විසින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය, ටියර් ‘ඒ’ ක්‍රිකට් තරගාවලිය සහ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී රාගම ක්‍රීඩා සමාජයේ නායකයා වශයෙන්ද කටයුතු කර තිබේ.
මේ අයුරින් මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇමරිකාව බලා සංක්‍රමණය වූ දෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ අමිල අපොන්සුය. මීට ඉහතදී තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ඇමරිකාව බලා සංක්‍රමණය වූ අතර ඔහු ඇමරිකාවේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරමින් සිටී.
ලොව ක්‍රියාත්මක බොහෝමයක් ක්‍රීඩාවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ඇමරිකාව මුල් ස්ථාන අතර රැඳී සිටියද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණීමට ඔවුන්ට මෙතෙක් අවස්ථාව හිමි වී නැත. ඒ හේතුවෙන් ඇමරිකාවේ ක්‍රිකට් දියුණු කිරීමේ අරමුණින් විදෙස් රටවල දක්ෂතා සහිත ක්‍රීඩකයින් සිය රටට ගෙන්වා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවද සැලවේ.