හෘද සැත්කමකින් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි දකුණු කොරියානු වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාවේ සෝල් නුවර ජනාධිපති කාර්යාල වාර්තා උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසන්නේ කිම් ජොන් උන් ‘බරපතළ ලෙස රෝගාතුර වී ඇත’ සහ ‘මොළය මියගිය තත්ත්වයේ පසුවෙයි’ යනුවෙන් පළවන වාර්තා තහවුරු කිරීම සඳහා කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බවයි. 36 හැවිරිදි උතුරු කොරියානු නායකයාගේ ශරීර සෞඛ්‍යය අයහපත් බවට මෙලෙස වාර්තා පළවී ඇත්තේ පළමු වරට නොවේ. ඔහුට එරෙහිව අවි අමෝරාගෙන ඇති බොහෝ බටහිර රටවල මාධ්‍ය ආයතන ඔහු රටේ නායකත්වයට පත්වූ දා පටන්ම විටින් විට කිම් ජොන් උන්ගේ ශරීර සෞඛ්‍යය අයහපත් බව වාර්තා කළේය.
කිම් ජොන් උන් පසුගිය අප්‍රේල් 15 වැනිදා පැවැති ඔහුගේ සීයා වන කිම් ඉල් සුන්ගේ උපන් දින සැමරුම මග හැරියේය. ජාතියේ නිර්මාතෘවරයාගේ උපත සනිටුහන් කරමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම සැමරුම උතුරු කොරියාවේ ප්‍රධානතම උත්සව අවස්ථාවකි. මීට පෙර කිම් ජොන් උන් කිසිදු අවස්ථාවක එම සැමරුම මගහැර නැත. මෙවර ඔහු උත්සවයට නොපැමිණීම මෙම කතාවලට පදනම සකස් කර දී තිබිණි.