“ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් එන්තරවාසි යවා ඇත.
තවද ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය අරුණ ලියාන්, රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන තිදෙනා වෙතම පැවැතියද රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් අරුණ ලියාන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අරුණ ලියාන් වෙත සම නිර්මාණ හිමිකම් පවතින ගීත දේශීය සහ විදේශීය ප්‍රසංග හා අනෙකුත් ක්‍රම මගින් ගායනා කරමින් ඉතා විශාල මූල්‍යමය ආදායමක් නීති විරෝධී ලෙස ලබමින් සිටින බව අදාල එන්තරවාසි මගින් සදහන් කොට තිබේ.
දුරකථන රිගින් ටෝන් ක්‍රමය ඔස්සේ වසර 17කට අධික කාලයක් ද මොවුන් දෙදෙනා විසින් අරුණ ලියාන්ව දැනුවත් නොකර විශාල මුදලක් වංචා සහගත ලෙසින් උපයා ඇතැයි සදහන් වේ.
මීට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ YouTube, Spotify, Apple I tune, Amazon Music, Deezer Music ඔස්සේ වංචා කර ඇතැයි කියැවේ.
අප මේ පිළිබදව අරුණ ලියාන්ව සම්බන්ධ කර ගනිමින් තොරතුරු විමසූ අතර ඔහු කියා සිටියේ වසර 17කට අධික කාලයක් සිය නිර්මාණයන්හි කතෘභාගය වංචා කරමින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් බොරු අතීතයක් දැන් මවා පාමින් බතික් සරමක් ගැන පම්පෝරි ගසමින් බෝල උඩදමමින් සහ පොලු කරකවමින් සිටින බවය. ඔවුන් දෙදෙනා අතින් තමන් දායක වූ නිර්මාණවලින් අනතුරුව මේ දක්වා කිසිඳු හරිහමන් නිර්මාණයක් බිහි වී නැතැයි ද අරුණ ලියාන් කියා සිටියේය .
කෙසේ නමුත් මෙම සිද්ධියත් සමග රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් දෙදෙනාව සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ අතර මේවන විට මෙම සිද්ධියත් සමග අදාළ එන්තරවාසි ලැබුණු විගස ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිට විදෙස් ගත වී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබද අදහස් දක්වමින් අරුණ ලියාන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මඩුල්ල කියා සිටියේ මේ සම්බන්ධව 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත යටතේ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කරන බවත් එකී නඩු කටයුත්ත අවසන් වන තෙක් ජය ශ්‍රී නමින් සිදු වන සියලු කටයුතු තහනම් කරමින් වාරණ නියෝගයක් ඉල්ලා සිටීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බවත්ය.