කොවිඞ් තර්ජන මැද ඇරඹුන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය “ටෝකියෝ ඔලිම්පික් 2020”

ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2020 ජූලි 24 වැනි දින සිට අගෝස්තු 9 වන දින දක්වාය. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල් තබන බව 2020 මාර්තු මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය. වසරක ප‍්‍රමාදයකින් පසු එය මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් යටතේ නරඹන්නන්ගෙන් තොරවය. කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගතවනු ඇත්තේ කල් දමා නැවත පවත්වන ලද පළමු ඔලිම්පික් තරගාවලිය ලෙසිනි.

”හැඟීම් මගින් එක්සත්භාවයට” යන තේමාව මත පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා ලොව පුරා ජාතීන් 206 කට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11238 කට වැඩි පිරිසක් සහභාගීව සිටින අතර ක‍්‍රීඩා 33 ක් වෙනුවෙන් තරඟ ඉසව් 339 ක් පැවැත්වෙනු ඇත. තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගනු ලබන තරඟ ඉසව්ව වන මීටර් 100 කෙටි දුර ධාවන තරගයේ කාන්තා තරගය ජූලි 31 වන සෙනසුරාදා පැවැත්වෙනු ඇති අතර පිරිමි තරගය අගෝස්තු 01 වැනිදා පැවැත්වීමට නියමිතය. කාන්තා තරගයේ රන් පදක්කම මහා බි‍්‍රතාන්‍යයේ ”ඩිනා ආශර් ස්මිත්” විසින් දිනා ගනු ඇති බවට අනාවැකි පළවන අතර පිරිමි මීටර් 100 රන් පදක්කම ඇමෙරිකාවේ ”ටෙ‍්‍රවෝන් බ්‍රොමෙල්” විසින් දිනා ගනු ඇති බව විශ්වාස කෙරේ. 2012 සිට මීටර් 100 පිරිමි ඉසව්වේ ආධිපත්‍ය දරණ ලද ජැමෙයිකාවේ ”උසේන් බෝල්ට්” විශ‍්‍රාම යෑමෙන් අනතුරුව එම ඉසව්ව සඳහා මෙවර නව ක‍්‍රීඩා තරුවක් බිහිවීමට නියමිත වීම ද විශේෂ කාරණයකි. ජූලි 24 වන දින පැවැත්වීමට නියමිත කාන්තා මීටර් 10 එයාර් රයිෆල් තරගය පළමු රන්පදක්කම පිරිනැමෙන තරගය වනු ඇති අතර අගෝස්තු 8 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත පිරිමි වෝටර් පෝලෝ තරගය තරගාවලියේ අවසන් රන් පදක්කම පිරිනැමෙන තරගය බවට පත්වීමට නියමිතය. රන් පදක්කම් 40 ක් සමග සමස්ත පදක්කම් 96 කට ආසන්න ගණනක් දිනාගනු ඇතැයි පුරෝකථනය කෙරෙන එක්සත් ජනපදය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමස්ත ජයග‍්‍රහණය දිනා ගනු ඇති බවට අනාවැකි පළවන අතර රුසියාව සහ චීනය අතර දෙවැනි ස්ථානය සඳහා තියුණු තරගයක් පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම අනාවැකි කෙතරම් දුරට සැබෑ වනු ඇතිදැයි තවත් සති කිහිපයකින් දැනගත හැකි වනු ඇත.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහිප දෙනෙකු කොවිඞ් 19 සඳහා ධනාත්මක බව තහවුරු වීම බලධාරීන් අතර තිගැස්මක් ඇති කරලීමට හේතු වී ඇති අතර අදාළ පිරිස් ඔලිම්පික් ගම්මානයෙන් පිටත හෝටල්වල නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත. පළමු සිදුවීම ලෙස දකුණු අප‍්‍රිකානු පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දෙදෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ට සිදුකරන ලද කොවිඞ් 19 පරීක්‍ෂණ ධනාත්මක බව දකුණු අප‍්‍රිකානු පාපන්දු සංගමය තහවුරු කර ඇත. මේ අතර ධනාත්මක කොවිඞ් පරීක්‍ෂණයකින් පසු ඔලිම්පික් උළෙලින් ඉවත් වීමට ඇමෙරිකානු ටෙනිස් ක‍්‍රීඩිකාවක් කටයුතු කර තිබෙන අතර ජිම්නාස්ටික් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක්ද ධනාත්මක බව තහවුරු කර තිබේ. චෙක් ක‍්‍රීඩකයෙක් ඇතුළු තවත් කිහිප දෙනකුම කොවිඞ් ධනාත්මක තත්්ත්වයන්ට මුහුණ දී ඇති නමුත් ටෝකියෝ බලධාරීන් ප‍්‍රකාශ කරන්නේ බලාපොරොත්තු වූ තරම් සිදුවීම් වාර්තා නොවුන බවයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කොවිඞ් ප‍්‍රතිචාර ක‍්‍රියාමාර්ග අධීක්‍ෂණය කරන වෛද්‍ය ”බ‍්‍රයන් මැක්ලොස්කි” ප‍්‍රකාශ කරන්නේ ආසාදිතයන් අවම කිරීමේ ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක බවත් ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුර වෛරසය පැතිරී යෑම පිළිබඳව අවදානමක් නොමැති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top