Lanka Latest news site

විදේශිකයන්ටත් දැරිය නො හැකි පරවි දූපතේ ඇතුළු වීම් ගාස්තු.

Lanka Latest news site

 නිලාවේලි පරෙවි දූපත ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ට නිකුත් කෙරෙන ප්‍රවේශපත්‍රවල මිල අධික බවට දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් ද මැසිවිලි නගනවා.

 ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටේ පවතින ආර්ථික තත්ත්වයට හමුවේ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීමට ඉඩ නොදී කඩිනමින් ඊට සහන ලබා දෙන ලෙස යි. නිලාවේලි වෙරළ තීරයට පැමිණෙන සෑම සංචාරකයෙකුම පාහේ පරෙවි දූපතට යාමට අමතක නොකරන්නේ එය සුවිශේෂී අත්දැකීමක් ලෙස සලකන බැවිනු යි.

 වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ පාලනය වන පරෙවි දුපත ජාතික වනෝද්‍යානය මෙරට තිබෙන එකම දූපත් වනෝද්‍යානය ද වනවා.

කෙසේ වෙතත් ප්‍රවේශපත්‍ර මිල අධික වීම හේතුවෙන් සංචාරකයින් මෙන්ම සංචාරකයින් රැගෙන යන යාත්‍රාකරුවන් මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට යි.

 වනජීවි දෙපාර්තමේන්තුව හිටිහැටියේ සියලු ම වනෝද්‍යානයවලට ඇතුළු වීමේ ගාස්තු කිහිප ගුණයකින් වැඩි කිරීමත් සමග පරෙවි දූපතට යාම සඳහා මේ වන විට විශාල මුදලක් ප්‍රවේශ පත්‍ර සඳහා වැය කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ට සිදු ව තිබෙනවා.

 පරෙවි දූපතට යාම සඳහා හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට රුපියල් 5000ක් පමණ අය කළ ද පසුගිය කාලයේ පැවති ඉන්ධන අර්බුදයත් සමඟ එම මුදල රුපියල් 9000 දක්වා ඉහළ දැමීමට පරෙවි දූපතට සංචාරකයන් රැගෙන යන යාත්‍රාකරුවන් ද කටයුතු කර තිබෙනවා.

 ඒ හේතුවෙන් සංචාරකයින් පරෙවි දූපතට යාමෙන් වැළකී සිටින තත්ත්වයක් නිර්මාණය වීම කනගාටුවට කරුණක්. මේ හේතුවෙන් සංචාරකයන් සඳහා සේවා සපයන යාත්‍රාකරුවන් රැසකගේ රැකියාවන් අවධානමට ලක් ව තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

 පරෙවි දූපත වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා අය කරන මිල ගණන් සාධාරණ මට්ටමක් දක්වා පහත දමා එහි පැමිණෙන සංචාරකයින් හට සහන සැලසීමට කටයුතු නො කළ හොත් පරෙවි දූපත වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් තොර හුදෙකලා කලාපයක් වන කාලය වැඩි ඈතක නො වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top