යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හානි කළ පුද්ගලයින් සමඟ ගිය ට්‍රැකර්වරුන් සහ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ නිලධාරීන්ගේ වැඩ වහා ම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කෙරී තිබෙනවා.ඒ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයක් මත යි.
ඊයේ (24) දිනයේ යාල ජාතික වනෝද්‍යානයට පැමිණි දේශීය සංචාරකයන් පිරිසක් විසින්, වන සතුන්ට පමණක් වෙන් කර තිබූ භූමියක ඉතා ම ඝෝෂාකාරී හා අපරීක්ෂාකාරී ලෙස ජීප් රථ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල හා ජන මාධ්‍යවල සංසරණය වුණා.
මේ පිළිබඳ විමසීමේ දී පරිසරවේදීන් සඳහන් කළේ, නිදහසේ ජීවත් වන වන සතුන්ගේ ස්වාභාවික පැවැත්මට බාධා වන අයුරින් මෙසේ හැසිරීම ඉතා ම පිළිකුල් සහගත බව යි.කෙසේ වෙතත් වනජීවී හා වනසංරක්ෂණ පිළිබඳ විෂය භාර අමාත්‍ය, මහින්ද අමරවීර ඊයේ දිනයේ දී ම පැවසුවේ, වැරැදිකරුවන්ට එරෙහි ව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බව යි.