පෞරාණික වස්තූන් සෙවීමේ අදහසින් පදවිය වැව් බැම්ම පාමුල විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
එහි දී දීර්ඝ කාලයක් තිස්සේ වැව් බැම්ම විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි වයස අවුරුදු 41, 39, 37, 29 ක් වන පදවිය සහ බිංගිරිය ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම පුද්ගලයින් නීති විරෝධීව පදවිය වැව් බැම්ම පාමුල පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ සෙවිමේ අරමුණින් මෙම කටයුත්ත සිදු කර ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.
මෙම පුද්ගලයින් සිව් දෙනා සමග අත්අඩංගුවට ගත් කැණීම් උපකරණ ඇතුළු පූජා භාණ්ඩ ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පදවිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.