හදිසියේම ඖෂධ ගැන විෂේශ තීරණයක්

 

මිල අඩුකිරීම සම්බන්ධයෙන් වන ඖෂධ ලැයිස්තුව සකස් කිරීමේ කමිටුවක් පත්කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

“ඖෂධ වර්ග 1,300ක් පමණ භාවිතා වෙද්දි මිල පාලනයක් දාලා තියෙන්නේ ඖෂධ වර්ග 100කට පමණයි. පාලන මිල යටතේ ඖෂධ වෙළෙඳපොළේ තියෙන කොට පෞද්ගලික අංශය තුළ ඉතිරි ඖෂධ 100% සිට 300% 600% දක්වා ඉතා අසාධාරණ ලෙස මිල වැඩිකිරීම්වලට යටත් කරලා විකිණෙන ආකාරය අපි දකිනවා. 

ඒ හරහා ජනතාවට සහනයක් ලබාදෙන්නේ කොහොමද කියන ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යතුමන් අතර පැවති සකච්ඡාවේදී අවධානය යොමු කළා. මේ මිල පාලනය කරත්… වෙළෙඳපොළ තුළ සැබෑවටම ව්‍යපාරිකයින් ජනතාවට සහන ලබාදෙනව ද?.

කොහොම වුණත් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් සහ වෛද්‍ය වෘත්තිකයින් විදිහටත් අපි විශ්වාස කරනවා ජනතාවට මේ මොහොතේදී ඖෂධ සහනයක් ලැබිය යුතුයි. ඒ නිසා එතුමා එකඟ වුණා ඖෂධ මිල අඩුකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ලැයිස්තුව සකස්කිරීමේ කමිටුව වහාම පිහිටුවන්න. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.”

මේ අතර ප්‍රශ්න සහගත ඉන්දියානු ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ඉදිරි සතියේදී අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයද නොමඟ යවමින් සිදුකළ මෙම ඖෂධ ගනුදෙනුවට චෝදනා එල්ලවී ඇති සෞඛ්‍ය ඇමතිවරයා වහා ධුරයෙන් ඉවත් කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top