රංගන ශිල්පිනියක වගේම නිරූපිකාවක විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියන්නේ, දෙරණ නාලිකාවේ විකාශනය වුන ධරණී ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඩිලුෂි හංසිකා මේ වනවිට ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නවා, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන ඩිලුෂි හංසිකා සමගයි. ඩිලුෂි අපි දකිනවා ඔයා ගොඩක් සුන්දර විලාසිතා කරනවා, ගොඩක් ආසයි නේද විලාසිතා කරන්න ”මම ආසම විෂයන් වලින් එකක් තමයි විලාසිතා කියන්නේ, ඉතින් මම විශ්වාස කරනවා විලාසිතා වලට පුළුවන් අපේ ගත මනස දෙකම සතුටින් තියන්න,”
විලාසිතා කියන විෂය දකින්නේ කොහොමද..? ”මෙහෙමනේ විලිවසාගන්න නිර්මාණය වුන ඇඳුම් අද වෙද්දී රටින් රටට පලාතෙන් පලාතට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙමින් පවතිනවා, ඒ වගේම වටිනාකම් ගොඩක් එකතුවෙලා තියෙනවා, ඒ වගේම ලෝකේ අවධානය දිනාගන්න පුළුවන් වෙලා තියෙන පුළුල් විෂයක්, ඉතින් අදවෙද්දී මේ දේවල් නැතුවම බැරි දෙයක් වෙලා,”
ඇඳුමක් තෝරාගන්න කලින් ඔයා අවදානය දෙන කරුණු මොනවද..? ”මෙහෙමයි අංක එකට මම ඇඳුමක් ගද්දී බලන්නේ මගේ පහසුව, මොන තරම් වටිනා ඇඳුමක් වුනත් කොච්චර ලස්සන වුනත් මම ඒක ඇඳන් ඉන්න අපහසුනම් අඳින්නේ නෑ, අනිත් කාරනාව තමයි මගේ ඇඟේ හැඩය පේන ඇඳුම් අඳින්න මම ආසයි, මම ගොඩක්ම තෝරාගන්නේ මට ගැලපෙන මගේ ඇඟ පේන ඇඳුම් අඳින්න, ඒ වගේ විලාසිතා කරන්න”

හැමෝම ගොඩක්ම ලස්සනයි කියන්නේ මොනවගේ ඇඳුම් ඇන්දම කියලද ඔයා හිතන්නේ ” කොයි ඇඳුම ඇන්දත් මට ලස්සනයි කියලයි මම හිතන්නේ, හැබැයි මට ගවුම් සහ ඔසරිය ඇන්දම තමයි වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ, මගේ මුහුණේ පෙනුම උස ඔක්කොමට ගැලපෙන්නේ ඔසරිය, හැමෝම කියන්නේ මම ඔසරිය ඇන්දම ගොඩක් ලස්සනයි කියලා ඉතින් මමත් ආසයි ඔසරිය අඳින්න”
ඩිලුෂි ගොඩක් අයට උදවු කරනවා කියන්නේ ඇත්තද..? ”මෙහෙමයි කවුරුහරි කිවුවොත් එයාලගේ පොඩි පොඩි බිස්නස් වලට උදවු කරන්න කියලා මම උදවු කරනවා, එයාලා වෙනුවෙන් ඇඳුමක් ඇඳලා සපත්තු දෙකක් දාලා, හෑන්ඩ් බෑග් එකක් දාලා ෆොටෝ අරගෙන මගේ ශෝෂල් මීඩියාවල දාලා ප්‍රසිද්ධ කරලා එයාලට හෙල්ප් එකක් දෙනවා, මම එහෙම උදවු කරපු අය අද ගොඩක් හොඳ තැන්වලට ඇවිත් ඉන්නවා, මට හරිම සන්තෝසයි ඒවා දකිද්දී, මම මට පුළුවන් උදවු කරනවා,”