රාජ්‍ය සේවකයින් ට ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්

2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

සියලුදෙනාටම සුබ නව වසරක් වේවා ! කියා මම ප්‍රාර්ථනා කරනවා.

මාස පහ හමාරක‍ට පෙර මේ කාර්යාලයේ සිට අපි ඓතිහාසික වැඩකොටසක් භාරගත්තා. ආණ්ඩු පාලනය කඩා වැටුණු අවස්ථාවකදී, ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවකදී රට තුළ සාමාන්‍ය තත්ත්වයක් ඇතිකරන්න අපි ඒ මාස පහ හමාර තුළදී පියවර ගත්තා. අපේ ආර්ථික ප්‍රශ්න සියල්ලම විසඳී නැහැ. නමුත් අද ඉන්ධන, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර අවශ්‍ය පරිදි ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

එම කටයුතු සඳහා මේ මාස පහ හමාර තුළ ඔබ සියලුදෙනා ලබාදුන් සහායට පළමුව මම මගේ ස්තූතිය පළ කරනවා. අපේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වී නැහැ. එහි වැදගත්ම වසර වන්නේ මෙම 2023 වසරයි. අපේ රට ණය බරින් නිදහස් කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කර අප ඉදිරියට යා යුතු වෙනවා.

ඒ වගේම අපි නව ලෝකය සමග තරඟකළ හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. මේ රටේ දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි යන්න බහුතරයගේ මතයයි. මේ කරුණු දෙකම අප විසින් ඉටුකළ යුතුව තිබෙනවා.

ඒ වගේම අද තිබෙන දේශපාලන ක්‍රමයේ ගැටලු විසඳිය හැකි නව ක්‍රමවේදයක් අප ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙහිදී පසුගිය වසරට වඩා අප සියලුදෙනා සාමුහිකව එක්විය යුතුයි.

අපි මේ ආණ්ඩුව දෙස බලන්නේ එක් යාන්ත්‍රණයක් ලෙස. මෙය අමාත්‍යාංශ අනුව වැඩසටහන් ගනණාවකට බෙදි නැහැ. එක් යාන්ත්‍රණයක අනු කොටස් ලෙසයි සියල්ල ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා කිසිවෙක් අතර තරඟකාරිත්වයක්, කඹ ඇදිල්ලක් සිදුවිය නොහැකි වගේම තමන්ගේ වගකිම් සීමා කළ නොහැකියි. ඔබ සියලුදෙනා රටේ මුලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට බැඳි සිටිය යුතුයි. එම වැඩපිළිවෙළේදි කේන්ද්‍රස්ථානය වන්නේ මෙම ජනාධිපති කාර්යාලය, ඒ වගේම කැබිනට් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය. මෙම ආයතනවලින් තමයි මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන්නේ.

තමන්ගේ වැඩකටයුතු දව‍සේ පැය 08කට සීමා වන්නේ නැහැ. ඒ වගේම සතියේ දවස් 05කට සිමා වන්නේ නැහැ. අපි සියලුදෙනා කැපවී වැඩ කරමු. 2023 අවසන් වනවිට මේ රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින් ඔබ සියලුදෙනාගේ සහය ඇතිව මේ රට ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top