බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එරට කොංග්‍රස ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය සහ ජනාධිපති මන්දිරයට කඩාවැදීම හේතුවෙන් එරට අගනුවර කටයුතු අඩපණ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
වත්මන් ජනාධිපති ලූලා ඩි සිල්වාගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් එම පිරිස් කලහකාරී ලෙස හැසිරෙති.
කහ සහ කොළ පැහැ ඇඳුමින් සැරසි, විරෝධතාකරුවන් ජාතික කොංග්‍රස ගොඩනැගිල්ලේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ වීදුරු ආවරණ සහ ගෘහ භාණ්ඩ කඩා බිඳ දමමින් කලහකාරීව හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
3,000ක පමණ වූ පිරිස පාලනයට ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් යොදවා සිටි අතර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස පාලනයට ඔවුන් පසුව සමත් වුණි.
මෙහිදී පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැති බ්‍රසීල ජනාධිපතිවරණය අවසන් වූයේ එරට දෙවරක් ජනාධිපති ධුරය දැරූ ඉනීෂියෝ ලූලා ඩි සිල්වා ට තියුණු ජයක් අත් කර දෙමිනි.
එහිදී පරාජයට පත් බොල්සොනාරෝ එය පිළිගැනීමට මැලිකමක් දැක්වූයේ මැතිවරණයේදී ලූලාගේ පාර්ශ්වය වංචාකළ බවටද චෝදනා කරමිනි.
පසුව බොල්සොනාරෝට පක්ෂපාතීව රට පුරා ස්ථාන රැසක විරෝධතා ආරම්භ විය.
කෙසේ නමුත් පසුගිය ජනවාරි පළමුවනදා ලූලා ඩි සිල්වා ජනාධිපති ධුරයේ දිවුරුම්දුන් අතර ඒ වනවිට බොල්සොනාරෝ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණි.
හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ගේ විරෝධතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ලූලා ඩි සිල්වා, මෙය උමතු ෆැසිස්ට්වාදී හැසිරීමක් ලෙස විවේචනය කළේය.
එමෙන්ම ඔහු චෝදනා කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව උසිගැන්වූ බොල්සොනාරෝ ඊට වගකිවයුතු බවය.
එමෙන්ම සිදුවීමට සම්බන්ධ සියලුදෙනා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදෙන බවටද ජනාධිපති ලූලා අවධාරණය කර තිබුණි.
මේ අතර සිද්ධිය පාලනයට අසමත් වූ බවට චෝදනා කරමින් එරට අගනගරය වූ බ්‍රසීලියා හි ආණ්ඩුකාරවරයා ධුරයෙන් පහ කිරීමට බ්‍රසීල උපරිමාධිකරණය තීන්දු කළේය.