ඉන්දීය තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙලෙස ආබාධවලට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකයි.
ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එහිදී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක පන්දුවක් රැකගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ අත බිම වැදීමෙන් දකුණු උරහිසේ ආබාධයකට ලක්ව ඇත.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අද දිනයේදී X-ray සහ MRI පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
ඒ අනුව ආදාළ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ඩිල්ෂාන් මදුශංක සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත.
මේ අතර චාමික කරුණාරත්න ඊයේ තරගයට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වලදී පන්දුවක් උඩු තොළ ප්‍රදේශයේ වැදීම නිසා තුවාල ලබා ඇත.
මීට පෙරද උඩ පන්දුවක් රැකීමට යාමේදී පන්දුවක් ඔහුගේ මුඛයේ වැදීමෙන් ඔහු ආබාධයකට ලක්ව තිබුණි.
ඊයේ දිනයේ සිදුවූ තුවාලය හේතුවෙන් ඔහුගේ උඩු තොළ ආශ්‍රිතව මැහුම් තුනක් යොදා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවත් වෛද්‍ය නිර්දේශය මත ඔහු පෙරේදා තරගයට ක්‍රීඩා කළේය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු හෙට පැවැත්වෙන ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයට ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවය.