චීනයේ ජනගහණය පළමු වරට පහතට

වසර 60කට පසු ප්‍රථම වරට චීනයේ ජනගහණය පහත වැටී ඇත. එරට ජාතික උපත් අනුපාතිකය වාර්තාගත පහත මට්ටමකට පැමිණ තිබේ – ඒ, පුද්ගලයින් 1000ට උපත් 6.77ක් වශයෙනි.

2022 වසරේ ජනගහණය වන බිලියන 1.4118, 2021 ජනගහණයට වඩා 850,000කින් පහත වැටිණි.

චීනයේ උපත් අනුපාතිකය වසර ගණනක සිට පහත වැටෙමින් පැවති අතර, එම රටාව මන්දගාමී කිරීම සඳහා ප්‍රතිපත්ති රැසක් හඳුන්වාදෙනු ලැබුණි.

නමුත් එක්දරු ප්‍රතිපත්තිය අත්හිටුවා වසර හතකට පසු එරට එළැඹ තිබෙන්නේ, එක් නිලධාරියෙකු විසින් “සෘණ ජනගහණ වර්ධනයේ අවධිය” ලෙස විස්තර කෙරුණු සමයකට ය.

අඟහරුවාදා (ජන. 17) මෙම දත්ත නිකුත්කළ චීනයේ ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2021 දී 7.52ක් වූ උපත් අනුපාතය 2022 දී පහත වැටී ඇත.

සාපේක්ෂව ගත්කල, 2021 දී එක්සත් ජනපදය පුද්ගලයින් 1000කට උපත් 11.06ක් ද, එක්සත් රාජධානිය උපත් 10.08ක් ද වාර්තා කළේ ය. ජනගහණය අතින් චීනය අභිබවා යනු ඇතැයි සැලකෙන ඉන්දියාවේ එම වසරේ එම අගය 16.42ක් විය.

ගිය වසරේ දී, ඉතිහාසයේ ප්‍රථම වරට මරණ සංඛ්‍යාව ද උපත් සංඛ්‍යාව අභිබවා ගියේ ය. චීනය, 1976 සිට වාර්තා කළ ඉහළම මරණ අගය – පුද්ගලයින් 1000ට මරණ 7.37 – වාර්තා කළේ ඊට පෙර වසරේ 7.18ක අගය අභිබවා යමිනි.

පෙර දී, චීන රජයේ දත්ත විසින් දක්වා තිබුණේ, දිගුකාලීනව චීනයේ ශ්‍රම බලකාය හකුලවන, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සමාජ ආරක්ෂණ වියදම් මත වැඩි බරක් පටවන අන්දමේ ජනවිකාස අර්බුදයකි.

චීනය දශකයකට වරක් සිදුකරන ජන සංඛ්‍යාලේඛණ සංගණනයන්හි ප්‍රතිඵලය 2021 දී ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඉන් පෙන්නුම් කළේ චීනයේ ජනගහණය දශක කිහිපයකින් වාර්තා වූ මන්දගාමීම වේගයෙන් වර්ධනය වනබව යි. ජපානය සහ දකුණු කොරියාව වැනි අනෙකුත් නැගෙනහිර ආසියාතික රටවල ද ජනගහණය හැකිලෙමින්, වියපත්වෙමින් පවතියි.

“මෙම ප්‍රවණතාව දිගටම පවතීවි. සමහර විට කොවිඩ්වලින් පස්සේ වඩාත් නරක අතට හැරේවි,” ආර්ථික බුද්ධි අංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ යූ සූ පවසන්නී ය. 2023 ගෙවී යද්දී චීනයේ ජනගහණය තවත් හැකිලෙනු ඇතැ යි අපේක්ෂා කරන විශේෂඥයින් අතර සූ ද සිටියි.

“තරුණයින් අතර විරැකියා අනුපාතය ඉහළවීමත්, ආදායම් අපේක්ෂාව දුබලවීමත් නිසා විවාහයන් සහ දරු උපත් සැලසුම් තවදුරටත් ප්‍රමාදවෙන්න පුළුවන්. මෙනිසා අලුතින් උපදින දරුවන් සංඛ්‍යාව පහත බසිනවා,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

තව ද, කොවිඩ් ආසාදන හේතුවෙන්, පූර්ව-වසංගත සමයට වඩා 2023 වසරේ දී සිදුවන මරණ අනුපාතය ඉහළ යා හැකිබව ද ඇය පැවසුවා ය. පසුගිය මාසයේ දී චීනය සිය ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය අතහැර දැමූ දා පටන් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.

පසුගිය වසර ගණනාවක් තිස්සේ චීනයේ ජනගහණ ප්‍රවණතාවන් බෝහොකොටම හැඩගැසුනේ, 1979 දී ජනගහණ වර්ධන වේගය මන්දගාමී කිරීම සඳහා හඳුන්වාදුන් මතභේදාත්ම එක්දරු ප්‍රතිපත්තියෙනි.

People wearing face masks visit Chunxi Road, the busiest commercial pedestrian Street in Chengdu, on November 28, 2020 in Chengdu, Sichuan Province of China.

චීනයේ එක්දරු ප්‍රතිපත්තිය විසින්, ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට අනුග්‍රහය දක්වන සංස්කෘතිය වඩාත් ශක්තිමත් කළේ ය

මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ පවුල්වලට දඩ නියම කෙරුණු අතර, ඇතැම්විට රැකියාව පවා අහිමි කරනු ලැබුණි. ඓතිහාසිකවම ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් ප්‍රියකළ සංස්කෘතියකට හඳුන්වාදුන් මෙම ප්‍රතිපත්තිය නිසා බලහත්කාර ගබ්සාවන් සිදුකෙරුණු අතර, 1980 ගණන්වල සිට විකෘති, අසමාන ස්ත්‍රී-පුරුෂ අනුපාතයක් වාර්තා විය.

මෙම ප්‍රතිපත්තිය 2016 දී අත්හිටුවනු ලැබූ අතර විවාහක යුවළවලට දරුවන් දෙදෙනෙකු ලැබීමට අවසරය ලබාදුනි. පහත වැටෙන උපත් අනුපාතිකය ආපිට හැරවීමට හෝ, අවම වශයෙන් මන්දගාමී කරවීමට, මෑත වසරවල දී චීන රජය බදු සහන සහ වඩාත් හොඳ මාතෘ ප්‍රතිකාර ඇතුළු දිරිගැන්වීමේ ක්‍රම හඳුන්වා දුන්නේ ය.

නමුත් මෙම ප්‍රතිපත්ති මඟින් උපත්වල තිරසර වර්ධනයක් ඇතිකළේ නැත. ඇතැම් විශේෂඥයින් මෙයට හේතු ලෙස දක්වන්නේ දරු ප්‍රසූතිය දිරිමත් කරන ප්‍රතිපත්ති, රැකියා කරන මව්වරුන්ට වැඩි උපකාර හෝ අධ්‍යාපනයට ප්‍රවේශය වැනි ළමා රැකවරණයේ බර ලිහිල් කරනා ප්‍රයත්නයන් සමග ඈඳී නොතිබීම යි.

2022 ඔක්තෝබරයේ දී, චීන ජනපති ෂී ජින්පිං උපත් අනුපාතිකය ඉහළ දැමීම ප්‍රමුඛත්වයක්බවට පත්කළේ ය. වසර පහකට වරක් පැවැත්වෙන කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රසයේ දී ෂී කියා සිටියේ, එරට වියපත්වන ජනගහණයට ප්‍රතිචාර ලෙස ඔහුගේ රජය “ක්‍රියාකාරී ජාතික උපායමාර්ගයක් අනුගමනය කිරීමට” කටයුතු කරනු ඇතිබව යි.

චීනය විසින් දරුවන් බිහිකිරීම සඳහා දිරිගැන්වීම් ලබාදීමට අමතරව, ගෘහයන්හි හා සේවා ස්ථානවල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව වැඩිදියුණු කළ යුතුබව ද සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයයේ පවුල් සහ ජනගහණ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා බසරාවන් තීරවිචිචයිනන් පැවසුවා ය.

එවැනි ක්‍රියාමාර්ග හරහා සාඵල්‍යතාව වර්ධනය කළ හැකියැ යි ස්කැන්ඩිනේවියානු රටවල් පෙන්වා දී ඇතැ යි ඇය ප්‍රකාශ කළා ය.

“ඒ අය ඉක්මණින් ‘ලෝක විනාසයකට’ පත්වෙන අන්දමේ තැනක නෙවෙයි ඉන්නේ” සිංගප්පූරුවේ හිටපු ප්‍රධාන සංඛ්‍යාලේඛනඥය පෝල් චියුන්ග් කියා සිටියේ ය. මෙම ජනවිකාස අභියෝගය කළමනාකරණය කිරීම සඳහා චීනයට “ඇතිපදම් මිනිස් බලයක්” සහ “දිගු කාලයක්” ඇතිබව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, උපත් අනුපාත ඉහළ දැමීමෙන්ම පමණක් චීනයේ මන්දගාමී ජනගහණ වර්ධනය පිටුපස ඇති ගැටලු විසඳිය නොහැකිබව නිරීක්ෂකයින් පවසයි.

හොංකොං විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයයේ මහජන ප්‍රතිපත්ති මහාචාර්ය ස්ටුවර්ට් ගීටල්-බැස්ටන් මෙසේ කියා සිටියේ ය: ” සරු භාවය ඉහළ නැංවීම මඟින් ඵලදායීතාව වැඩිදියුණු කරන්නට හෝ මධ්‍යකාලීනව ගෘහස්ථ පරිභෝජනය වැඩි කරන්නට නොහැකියි.”

“මේ ව්‍යුහාත්මක ගැටලු වලට චීනය ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක වඩාත් තීරණාත්මක වේවි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top