මැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් වෙයි

රාජ්‍ය ආදායම  මේ වනවිට  දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඊට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදු කළේය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ කොවිඩ් වසංගතය තත්ත්වයෙන් පසුව 2021 වසරේ මෙරට අපනයන ආදායම 8.2%කින් පහත වැටුනු බවය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ අයවැය පරතරය 11.6% කින් ඉහළ ගිය බවත් ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් බිලියන 90 ක් ද විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 28 ක් ද ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තවත් බිලියන 28 ක් ද වැය කිරීමට සිදුවන බව පෙන්වා දෙන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා රාජ්‍ය ආදායම බරපතළ ලෙස කඩා වැටීම හේතුවෙන් එම අත්‍යවශ්‍ය කටයුතු පවා ඉටු කර ගැනීමට දැඩි අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බව පෙන්වා දී තිබේ.

ඊට අමතරව පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 114 කට ආසන්න මුදලක් ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 169 ක පමණ මුදලක් ද 2022 වසරෙහි වැය කිරීමට සිදු වූ බවත් එම දිවුරුම් පෙත්සමේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ණය ශ්‍රෙණිගත කිරීමේ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව පහත හෙළා ඇති නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළින් අරමුදල් සම්පාදනය කර ගැනීමද අපහසු තත්වයක් උද්ගතව තිබෙන බවත් එම නිසා අරමුදල් සම්පාදනය කර ගැනීමේ දී බැංකු නොවන මූලාශ්‍රවලින් අධික පොලී යටතේ අරමුදල් සම්පාදනය කර ගැනීමට සිදුවනු ඇති බවත් එහි සඳහන් කර තිබේ.

රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්වයක් නිර්මාණය වී ඇති හෙයින් රාජ්‍ය සේවක වැටුප්  කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගත් බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නැගීමට රජය සැලසුම් කරමින් සිටින මෙම අවස්ථාවේදී රට තුළ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගැනීම ඉතා වැදගත් බවත් ඊට විවිධ බාධා එල්ල වීම නුසුදුසු බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ දිවුරුම් පෙත්සමේ සඳහන් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වය නිර්මාණය වී තිබියදි මැතිවරණයක් පැවැත්වීමට සිදු වූවොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවත් ඒ හරහා මෙරට ආර්ථික තත්වය වඩාත් අයහපත් තත්ත්වයකට පත්වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය දිවුරුම් ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top