රු.20 ක් සිසුවෙක් හදිසි ප්‍රතිකාර ඒකකයක නවත්වයි

කළුතර විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීමට පැමිණි නවක සිසුවෙකුට විද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා මේවන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පහරකෑමට ලක්වු සිසුවාගේ මව්පියන් පවසන්නේ රුපියල් 20ක් ඉල්ලා සිදුකළ මෙම පහරදීමෙන් සිසුවාගේ මුහුණට බරපතල තුවාල සිදුවී ඇති බවය.

නිම්න රන්මාල් ජයරත්න සිසුවා පසුගිය 16 වැනිදා කළුතර විද්‍යාලයට ඇතුළත් වන්නේ උසස් පෙළ හැදැරීම සඳහාය.

පළමු දිනයේදී පාසලට පැමිණි නිම්නගෙන් පංතියේ සෙසු සිසුන් විසින් රුපියල් 20 ක මුදලක් ඉල්ලා තිබේ.

මව්පියන් පවසන්නේ, එම මුදල ලබාදීමට නොහැකි බව පැවසීමත් සමග මුදල් ඉල්ලූ සිසුන් විසින් දරුවාට පහරදී ඇති බවය.

මෙම පහරදීමේදී නිම්නගේ ඇස අවට ඉදිමී ඇති අතර නාසයෙන් රුධිරය ද වහනය වීම හේතුවෙන් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මව්පියන් පවසන්නේ, පහරදීම සම්බන්ධයෙන් තමන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවය.

එහිදී පහරදුන් සිසුන් 03  ක්  අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබා නිවසට පැමිණි නිම්නගේ නාසයෙන් තවදුරටත් රුධිරය වහනය වීම හේතුවෙන් තම දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව නිම්න රන්මාල් ශල්‍යකර්මයකට භාජනය කර මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top