ඩයනා ට අධිකරණයෙන් දුන් නියෝගය

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද (26) ඩයනා ගමගේ අමාත්‍යවරියට කල් ලබාදුන්නාය.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට ප්‍රථමව තමාට ආගමන හා විගමන පාලකවරයාගෙන් ලේඛන කිහිපයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියේය.

එම ලේඛන ලබාගෙන අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ඩයනා ගමගේ මහත්මියගේ පාර්ශවයට පෙබරවාරි මස 17 තෙක් කල් ලබාදුන්නේය.

පෙත්සම්කාර ඔෂල හේරත් මහතා කියා සිටින්නේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තෙක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් නොමැති බවය.

එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top