නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබේ.
නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ කටයුතු අද (08) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධකන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණිම පළමුව සිදුවුණි.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට පමණ සිදු වූ බව “අද දෙරණ” පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.
එහීදී කථානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට ඉදිරිපත් කරමින් සිටී.
ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදුකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.
බදු අය කිරීම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වා දීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක් බව ජනාධිපතිවරයා පවසයි.
“පසුගිය කාලය තුළ ගත් පියවර නිසා මේ පීඩනය හෙමින් හෙමින් අඩුකරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකය යම් ස්ථාවරයක් ඇති වෙලා තියෙනවා. ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙවා. අනතුරදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ඒ අවේ ලේහෙසි පහසු ගමනක් නෙමෙයි. හැබැයි ගමන තවම ඉවර නැහැ. බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණ රජ්‍යය මුල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා…
“මතක තබා ගන්න මට ඕනේ ජනප්‍රිය නෙමෙයි. මට අවශ්‍ය මේ රට වැටී ඇති අර්බුදයෙන් යළිත් ගොඩ නැංවීමටයි. ඔව් රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝදෙනෙක් ට අවබෝධ වෙයි. බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ දැමිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව සමහරු කියනවා. මේ බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනගන්න බෑ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රු බිලියන 100ක් අහිමිවෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවුවොත් රටට බිලියන 63ක් අහිමිවෙනවා. අහිමිවෙන සම්පුර්ණ මුදල රු 163ක්. මේ මුදල අහිමිකර ගන්න පුළුවන් තැනක නෙමෙයි අපි අද ඉන්නේ…
සමාජයේ සියලු කොටස්වල ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5ක් 6ක් වැනි කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදිහට ඉදිරියට ගියොත් අවුරුද්දේ 3 වෙනි 4 වෙනි කාර්තුවේදී රජයේ සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජවතාවගේ අතමිට අදට වඩා සරුකරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොලිය අඩුකරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගතවෙද්දී අද ලබන ආදායමට වඩා 75%ක් පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්…
සැබවින්ම දිළිඳු ප්‍රජාව හඳුනාගන්නවා. සහනාධාර බැංකු ගිණුමක් හරහා ඔවුන් කෙලින්ම මුදලින් ආධාර ලබාදීම වැඩලිපිළිවෙලක් සකස් කරමින් යනවා. හැබැයි සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩා කප්පල් කරන්න තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත් බදු අඩුකරනවා. පඩි වැඩිකරනවා. ආදී සුරංගනා කතා කියනවා. විවිධ කඩා කප්පල් කාරී ක්රීයා සංවිධානය කරන්න උත්සහා ගන්නවා. මම කිසිවිටක කරන්න බැරි දේ කියන්නේ නැහැ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. අයවැය කථාවේදී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියූ හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකය කිසියම් ස්ථාවරත්වයක් ඇතිකරන්න දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනන්වන්න බැරි බව දැන් බොහෝදෙනෙක්ට අවබෝධය තියෙනවා. සෘණ ආර්ථිකයක් සිට ධන ආර්ථිකයක් කරලා අපි දැන් ගමන් කරමින් ඉන්නේ. 2023 වර්ෂයේදී ධන ආර්ථික වර්ධනයක් ලබාගැනීමය අපේක්ෂා කරනවා….
විදේශ ශ්‍රමිකයින් මේ මොහොතේ මාතෘ භූමියට උපරිම සහාය දක්වමින් සිටිනවා. 2022 අවසන් වෙද්දි ඩොලර් බිලියන 4ක විදේශ විනිමය ඔවුන් අපට ලබාදුන්නා. අපේ ව්‍යවසායකයින් සහ විදෙස් ශ්‍රමිකයින් මෙම කැපවීම කළේ ඔවුන්ට විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විවිධාකාරයෙන් බලපෑම් කරන පසුබිමක. නමුත් අපනයන ආදායම් ඉහළ නංවන්නෙත් ලංකාවට මුදල් එවන්නේත් බලයේ සිටි දේශපාලන පක්ෂ අනුව නොව රට වෙනුවෙන් බව ඔවුන් ඔප්පු කළා. ඔවුන් සියලුදෙනාට අපගේ ගෞරවය හිමි වෙනවා. “