වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා පවසන පසුබිම තුළ නව ආදායම් බදු සංශෝධනය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (පෙබරවාරි 22 වැනිදා) කොළඹදී විරෝධතාවක් පවත්වනු ලැබීය.
වෘත්තීය සමිති මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ යළිත් වරක් විදුලි ගාස්තු ද ඉහළ දමා ඇති පසු බිම තුළය.
මෙම විරෝධතා හමුවේ ආණ්ඩුව නව බදු සංශෝධන ආපසු හරවයිද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.
කෑම පැයේ උද්ඝෝෂණයක්..
ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසී සිංහල සමග පැවසුවේ ය. “වර්ජන ක්‍රියාමාර්ගයක් නැහැ. කෑම පැයේ කරන උද්ඝෝෂණයක් තියෙන්නේ”
අද පැවැත්වෙන විරෝධතාවට වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට අයත් වෘත්තිය සමිති 40 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.
මීට අමතරව වරාය, ගුවන් සේවා, විදුලි සංදේශ, ඛණිජ තෙල් හා බැංකු යන කේෂත්ර නියෝජනය කරමින් වෘත්තීය සමිති අද පැවැත්වෙන විරෝධතාවට එක්වනු ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කළේ “මේ විරෝධතා තුළින් අපි විශ්වාස කරනවා ආණ්ඩුවට මේක දැනෙයි. ආණ්ඩුව මේ ප්රශ්නය තේරුම් ගනී කියලා. හැබැයි මේක අපි තමා උපරිම මට්ටට ගෙනල්ලා නැහැ. අපි විශ්වාස කරනවා මේක උපරිම මට්ටමට ගේන්න කලින් මේ සංඥාව ආණ්ඩුව තේරුම් ගනී කියලා. “
ඔහු පෙන්වා දුන්නේ “මේක වෘත්තීයමය විදිහට විසඳා ගැනීම තමා අපේ අරමුණ. අපි ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. අපි විශ්වාස කරනවා එතනදී මේක විසඳ ගන්න පුලුවන් කියලා. අපි බදු ගෙවන්න බැහැ කියලා කියන්නේ නැහැ නේ.අපි කියන්නේ සාධාරණ විදිහකට මේක කරන්න කියලා නේ.” ඔහු පැවසීය.
“අපි විකල්ප පෙන්නලා දෙනවා. මේ බදු ආදායම් ගන්න පුලුවන්. බදු ආදයම මීට වඩා ගන්න පුලුවන් විකල්ප තියෙනවා ඕන තරම්. එහෙම පිරිස් අතහැරලා සම්පූර්ණ වැටුපටම අසාධාරණයි කියලා තමයි මේ කියන්නේ.”
ආණ්ඩුව විසඳුමක් දෙන්න පරක්කු කරනකම් සිද්ධ වෙන්නේ මේ සටන් ක්‍රියාමාර්ගය තිව්ර වෙන එක. එකේ හානිය සහ බලපෑම වැඩි වෙන්නෙත් ආණ්ඩුවටම තමා.” වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.
සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක්. – ජනපති
වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති බවය.
2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව “2023 බදු සමුළුව” අමතමින් ජනපති කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ (පෙබරවාරි 21) කොළඹ පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය පවත්වමිනි.
“2023 බදු සමුළුව” ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර තිබූණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටියේය.
තවද මෙරට ප්‍රධාන ණය හිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය සහාය දැක්වීමට මේ වන විට පැරිස් සමාජය සහතික වී ඇති බවයි.
මෙහිදී ඉන්දියාව ද තමන්ටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කළ නමුත් චීනය තම ක්‍රමවේදය පිළිබඳව මෙතෙක් එකඟතාව පළ කර නොමැති බව ද ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ වුවද එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී පැවැත්වෙන ජී- 20 (G20) රටවල මුදල් ඇමතිවරුන්ගේ සාකච්ඡාවේ දී ඔවුන්ගේ ස්ථාවරත්වය දැනුම් දෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.