නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝග්රෑම් 4000කට අධික තොගයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සහ පුද්ගලයින් 08දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාව ඊයේ (05) රාත්‍රියේ වයඹ මුහුදේ දී සිදුකළ මුර සංචාරයක දීයි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී කටයුතු සහ ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනවා.
ඒ අනුව, ඊයේ(05) රාත්‍රී නොවික හමුදාවට අයත් සුරනිමල නෞකාව මගින් සිදුකළ මුර සංචාරයේ දී ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර කල්පිටිය, කදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී තිබූ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් නිරීක්ෂණය වුණා.
නාවික හමුදාව පවසන්නේ සිය භාරයට ගත් ධීවර යාත්‍රා 02ක තුළ තිබී පාර්සල් 128ක අසුරන ලද බීඩි කොළ කිලෝග්රෑම් 4000කට අධික තොගයක් සොයා ගත් බවයි.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝග්රෑම් 15000කට අධික තොගයක් සිය භාරයට ගත් බව ද නාවික හමුදාව වැඩිදුරටත් පවසනවා.