මෙරට පළමු වැව ලෙස සැළකෙන අනුරාධපුර, බසවක්කුලම වැව වටා ඇති රූස්ස ගස් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ කපා ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම සමාජ මාධ්‍ය තුළද එල්ල වන්නේ දැඩි විරෝධයකි.
“වැවයි දාගැබයි” සංකල්පය ශ්‍රී ලාංකිකයින්ට උරුම වන්නේ පළමු වාරි කර්මාන්තය වන බසවක්කුලම වැව පණ්ඩුකාභය රජු විසින් නිර්මාණය කර තිබීම හේතුවෙනි.
පසුකාලීනව ඉදිවූ රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අනුරාධපුර පූජා භූමියද නිර්මාණය වන්නේ මේ වාරි කර්මාන්තය ආශ්‍රිතවය.
දෙස් විදෙස් සංචාරකයින් ඒ නිසාම අනුරාධපුර පූජා නගරයට ඇදී එන්නේ එහි පහස විඳ ගැනීමේ අරමුණිනි.
කෙසේ වෙතත් මේ සුන්දරත්වය විනාශ කර දමමින් බසවක්කුලම වැව වටා තිබූ මාර ඇතුළු රූස්ස ගස් බොහෝමයක් කපා දැමීමට අනුරාධපුර අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය පවසන්නේ, වැව වටා ඇති මාර ඇතුළු රූස්ස ගස් කිහිපයක් දිරාගොස් ඇති නිසා, වැව නැරඹීමට පැමිණෙන ජනතාවට ජීවිත අවදානමක් ඇති බවට පාර්ශ්ව කිහිපයක් තමන් දැනුවත් කළ බවය.
ඒ අනුව අනුරාධපුර ප්‍රාදේශීය ලේකම්වරයා කළ ඉල්ලීම අනුව මීට වසර 2කට පමණ පෙර සිට දිරා යමින් ඇති ගස් 10කින් 4ක් දැව සංස්ථාව හරහා කපා ඉවත්කළ බව අනුරාධපුර ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු ලසිඳු කොටවිලආරච්චි මහතා සඳහන් කළේය.
ඉවත් කළ ගස්වල මුල් ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය හරහා ඉවත්කිරීමට නියමිත බවත්, දිරා යන ගස්වල මුල් ඉවත් නොකළහොත් පසුව එම ස්ථානවල කුහර සෑදීම නිසා වැව් බැම්මට හානි සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.