සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (10) සමත්වූවත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ඉනිම වෙතය.
ඒ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශතකයක් රැස් කරමින් ක්‍රීඩා කළ අගනා විශ්වසනීය ඉනිම පිළිබඳවය.
මොහොමඩ් ශාමි අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුව යොමුකරන අවස්ථාවේ කසුන් රාජිත පන්දුවට පහරදෙමින් සිටි අතර ලකුණු 98ක් රැස් කරගෙන අනෙක් අන්තයේ සිටි නායක දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට ගත් උත්සාහය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි විවේචනයටද ලක්වුණි.
පිටියේ විනිසුරුවරයා එම ඉල්ලීම තුන්වන විනිසුරුට යොමුකළත් නායක රෝහිත් ෂර්මා එම ඉල්ලීම ඉවත් කර ගන්නා බව දැන්වීම හේතුවෙන් දසුන්ට තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවුණි.
ඒ අවස්ථාවේ ලකුණු 98ක් රැස් කරගෙන සිටි දසුන් අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය එක්දින දිවියේ දෙවන ශතකය සම්පූර්ණ කළේය.
ඉනිමේ අවසන් පන්දුවටත් 06 පහරක් එල්ල කළ දසුන් ශානක ඔහුගේ ඉනිම නිමකළේ පන්දු 88කදී නොදැවී ලකුණු 108ක් රැස් කරමිනි.
මේ අතර දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය නායකයා තරගයෙන් අනතුරුව මෙලෙස අදහස් පළකර තිබුණි.
“මට ඇත්තටම අදහසක් නෑ ශාමි ඒක කරා කියලා. ඔහු ඒකට ඉල්ලීමකුත් කළා. ඒ වෙලාවේ දසුන් ලකුණු 98ක් රැස් කරගෙන හිටියේ. ඔහු පන්දුවට පහරදුන් විදිය විශිෂ්ටයි. අපිට ඔහුව ඒ විදිහට දවාගන්න බැහැ. නැවත වතාවක් කියනවා.. දසුන් ඉතා හොඳින් පන්දුවට පහරදුන්නා.”