මෝස්තර නිරූපණ ක්ෂේත්රය පිළිබඳ කතා කිරීමේදී අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි වාසනා දන්තනාරායන. මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ඇකඩමියක් ඔස්සේ මෙරට සූරූපිනියන් ජාත්‍යන්තර කිරුළු සඳහා මෙහෙය වූ ගුරුතුමියක් වූ ඇය රංගන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේක්ෂක සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළාය. ඇය සොඳුරු දියණියකගේ ආදරණීය මවකි. මේ ඇය සහ ඇයගේ දියණිය විහාරා දොඩමළු වුණු සොඳුරු මොහොතකි… ඉතින් වාසනා කොහොමද? මේ දවස්වල මොකද කරන්නේ “අපි සතුටින් සහ සුවෙන් ඉන්නවා. උත්සව කාලයක්නෙ ගතවුණේ. ඒ නිසා විනෝදයෙන්මයි දවස් ගෙවුණේ. පසුගිය මාසයේ අපේ 19 වැනි විවාහ සංවත්සරයත් තිබුණා. ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරන්න වෙහෙසුණා.
කොහොමටත් ඉතින් වාසනා, රසික සහ විහාරා කියන්නේ හරිම විනෝදකාමී, කාටත් හිරිහැරයක් නැතිව ඉන්න පවුලක්නෙ.” එහෙනම් නත්තල් සරුවට සමරන්න ඇති. “ඔව් ඔව්. මම බෞද්ධ වුණාට රසික කිතුනු බැතිමතෙක්නෙ. ඒ නිසා අපි නත්තල වාගේම වෙසක්, පොසොන්, අවුරුදු මේ සියල්ලම සමරනවා. අපි පල්ලියට වාගේම අනිවාර්යයෙන්ම පෝයට පන්සලුත් යනවා. බුදු පහන වාගේම ජේසුතුමා වෙනුවෙන් පහනක් අපේ ගෙදර දැල්වෙනවා.“ ඔයාලාගේ ආදර දියණිය විහාරා දැන් සොඳුරු යුවතියක්. “විහාරාට දැන් වයස අවුරුදු 16 ක්. එයා ලන්ඩන් O/L කරලා දැන් අනෙක් විභාගය සඳහා සුදානම් වෙනවා. විශේෂයෙන්ම මේ දිනවල අපේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ කටයුතු සොයා බලා මෙහෙයවන්නේ විහාරා.”
විහාරා මෝස්තර නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැති ද? “මගේ සම්බන්ධීකරණ වැඩ කටයුතු කරන්නෙ විහාරා තමයි. අපේ ෆැෂන් ෂෝ එහෙම සොයා බලලා ලොකු සහයෝගයක් ලබා දෙන්නේ දූ තමයි. කොහොමටත් විහාරා පුංචි කාලේ ඉඳන්ම මගෙයි, රසිකගෙයි වැඩවලට අපූරු සහයෝගයක් දෙන දරුවෙක්.” ඒ කියන්නේ ගෙදර දොරේ වැඩවලටත් උදවු කරනවාද? “අනේ ඔව්. මම ඒ හැමදේම පුංචි කාලේ ඉඳන් එයාට හුරු කළා. විහාරාට හරිම රසට කෑම හදන්න පුළුවනි. පැස්තා, නුඩ්ල්ස්, කේක් වාගේ දේවල් රසට හදනවා විතරක් නෙමෙයි හරිම ලස්සනට පිළිගන්වන්නත් එයා උනන්දුයි. එයා උයන පිහින වෙලාවට අපිට මුළුතැන්ගෙය තහනම්. ඔක්කොම ලස්සනට ලැහැස්ති කරලා භුක්ති විඳින්න තමයි අපිට කතා කරන්නෙ.“ ඒ කියන්නේ වාසනා වාගේම ඔයාගේ දුවත් හරිම සතුටින් ඉන්න කැමැති කෙනෙක්.
“සත්තකින්ම. අපි යාළුවෝ තුන්දෙනෙක් වගේ තමයි. පුදුම සතුටකින් මේ ගෙදර ජීවත් වෙන්නෙ. අපි අතර තරහින් වචන හුවමාරු වෙන්නෙ නෑ. ආදරය, හිනාව, සතුට පිරුණු පවුලක්. තුන්දෙනාම එකතු වෙලා තමයි හැමදේම ප්ලෑන් කරන්නෙ. ඒවාගේ වෙලාවට දුව අපි අතින් වෙන වැරැදීම් පවා පෙන්නලා දෙනවා. “අම්මි… තාත්ති මේක කරන්න එපා. එතකොට මේ වාගේ ප්‍රතිඵල ලැබෙයි“ කියලා. අපිට ලෙඩක්, දුකක්, අපහසුතාවයක් වුණොත් දුව එහාට මෙහාට දඟලලා බෙහෙත් හොයනවා. විශේෂයෙන් රසික ව්‍යාපාරික කටයුතු එක්ක ආතතියෙන් ඉන්න වෙලාවට ගිටාර් ගහලා සිංදු කියලා. විනෝදයෙන් ඒ ගැටලු මඟ හැරවීමේ අපුරු දක්ෂතාවයක් විහාරාට තියෙනවා.“ තමන්ගේ ආදරණීය දියණිය ගැන වාසනා මේ විදිහට කතා කරද්දී, විහාරා එක්කත් පුංචි කතාබහක නියැළෙන්නට අපට හිතුණා. විහාරාගේ අම්මා කියන්නේ අපේ රටේ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනියක්.