විශාල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කළ යුතුයි

ඉදිරියේදී මෙරට ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී විශාල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ආකාරයට සිදුකළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

කෙසේ වෙතත් ඉහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා ඇත්තේ දැනට ඇති දත්ත අනුව මෙම කලාපය තුළ විශාල බලපෑම් එල්ලවිය හැකි ප්‍රභල භූ කම්පන සිදුවීමට ඇති අවස්ථා බොහෝ අඩු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

“අපේ රටේ ගොඩනැගිලි නිර්මාණය කරද්දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ කරලා තියෙන තත්ත්වයන්ට අනුව තමයි කටයුතු කරන්නේ, ඒ නිසා දැනට රට තුළ ඉදිකරලා තියෙන ගොඩනැගිලි ආදිය සුළු කම්පන තත්ත්වයන්ට ඔරොත්තු දෙනවා. ඒ වගේම ජලාශ නිර්මාණය කිරීමේදීත් අඩුම තරමින් 3.5ක රික්ටර් පරිමාණයකටවත් ඔරොත්තු දෙන්න තමයි ඒ ජලාශ නිර්මාණය කරන්නේ. තුර්කියේ භූමි කම්පාවෙන් ඇතැම් ගොඩනැගිලි කඩා වැටෙද්දී තවත් ගොඩනැගිලි ප්‍රමාණයක් කඩා වැටුණේ නෑ ඒ කඩා නොවැටුණ ගොඩනැගිලි නියමිත ප්‍රමිතියට හදලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී අපේ රටේත් විශාල කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කරන්න වෙයි කියලා අපි හිතනවා.”

“පසුගිය දිනවල ඇතිවුණ ආකාරයේ භූ කම්පන තත්ත්වයන් ගැන අනියත බියක් ජනතාව ඇතිකරගත යුතු නෑ. ලංකාවට භූ කම්පන හරහා අනතුරු සිදුකළ හැකි එකම කලාපය ජාවා සුමාත්‍රාවල කෙළවර පිහිටලා තියෙන ප්‍රදේශයයි. එම ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු පතුලේ භූ කම්පනයක් ඇතිවුවහොත් 2004 වර්ෂයේ වගේ සුනාමි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ හැර වෙනත් කිසිම ආකාරයකින් ලංකාවට භූ කම්පන අනතුරක් හෝ සුනාමි අනතුරක් සිදුවීමක් පිළිබඳ වාර්තා වෙන්නේ නෑ. බුත්තල සිදුවූ භූ කම්පන වැනි කම්පන හරහා කිසිවෙකුටත් අනතුරක් සිදුවන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top