එක්ස්ප්‍රස් පර්ල් ගින්න – හානිය අවම කරගැනීමට ජනපතිගෙන් උපදෙස් රැසක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්.වී එක්ස් – ප්‍රෙස් පර්ල් නෞකාවෙන්”  සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත් පවතින කාළගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කරගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මෙවැනි ආපදා තත්ත්වයන් කළමනාකරණ කරගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වෙරළ තීරයට ගොඩ ගසා ඇති ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු නාවික හමුදාව සහ අනෙකුත් අංශ එක්ව දැනටමත් ආරම්භ කර ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විටත් එම මුහුදු තීරය අවට ජල සාම්පල පරීක්ෂණයට ලක්කර ඇත.

තවද නෞකාව හිමි සමාගම රක්ෂණ ආයතනය සහ සෙසු පාර්ශ්වයන් සමග ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගෙන සිටින නාවික සහ ගුවන් හමුදාවන්ට සහ සෙසු සියලු පාර්ශ්වයන් ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා වෙරළ තීරය කෙරෙහි විශේෂ අවධානයෙන් පසුවීමේ අවශ්‍යවතාව දැඩිව අවධාරණය කර තිබේ.

සිංගප්පුරුවේ ලියාපදිංචි මෙම නෞකාව පසුගිය 20 වනදා කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්විය.

නයිට්‍රික් අම්ලය, රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ඇතුළු භාණ්ඩ රැගෙන නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top