හානි අවම කර ගන්න ජනපතිගෙන් උපදෙස්
ජීවීන්ට වන හානිය ගැන ‘නාරා’ පරීක්ෂණ අරඹයි
වෙරළට ආ චොක්ලට් – ප්ලාස්ටික් ගෙන ගිය අය සොයා විමර්ශන
අබලි ද්‍රව්‍ය ඇල්ලීම අනතුරුදායකයි
මධ්‍යම පරිසර අධිකාරිය
කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ පිපිරීමකටද ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාව තව දුරටත් ගිනි ගනිමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ගින්න මැඬ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එක් කර ගනිමින් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය (Dry Chemical Powder) කිලෝග්‍රෑම් 425ක් නැව මතට හෙළා තිබේ.
ආපදාවට ලක් වූ මේ නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් මේ වන විට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
නෞකාව අවට මුහුදේ තෙල් පැතිර යෑමක් වුවහොත් පවතින කාලගුණික තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. මෙහිදී ලොව අනෙකුත් රටවල් මෙවැනි අවස්ථාවකදී ගෙන ඇති පියවර පිළිබඳ සැලකිලිමත් වන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ නෞකාවෙන් යම් තෙල් කාන්දුවක් සිදු වුවහොත් විය හැකි පරිසර හානිය අවම කර ගැනීම සඳහා මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවය.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9. 5ක් දුර මුහුදේ නැංඟුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වී ඇති අතර, නෞකාව මතින් මුහුදට වැටෙන බාහාලුම් සහ විවිධ කොටස් මුහුදේ රළ ස්වභාවය අනුව පාවී වෙරළ තීරයට ගොඩ ගසන බව නිරීක්ෂණය වන බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව ආපදාවට පත් නෞකාවෙන් වෙරළට පාවී එන විවිධ කොටස් පිළිබඳ නාවික හමුදාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, වෙරළ පරිසරයට වන බලපෑම සොයා බැලීම සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දේපාර්තමේන්තුව එක්ව ආපදාවට පත් නෞකාවෙන් මුහුදට වැටෙන කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවක් ඇති දික්ඕවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. එමෙන්ම වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහිද නාවික හමුදාව මේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් මුහුදේ තිබූ MV-X Press Pearl බහාලුම් නෞකාවේ ගින්නෙන් සමුද්‍ර පරිසරයට රසායනික ද්‍රව්‍ය එක්වීම නිසා සාගර පරිසර පද්ධතියේ සමුද්‍ර ජීවීන්ට වන බලපෑම පිළිබඳ අධ්‍යයනයක් කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත.
ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාගේ උපදේශකත්වයෙන් මේ වන විට එම පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානයට යවා තිබේ.
නයිට්‍රික් අම්ලය, ඇල්කොහොල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා නැවේ පවතින තෙල් එකතු වීමේ අවදානම මත මෙසේ සාගර ජීවීන්ට වන බලපෑම කවරේ දැයි ඉක්මනින් තක්සේරු වාර්තාවක් නාරා ආයතනය මඟින් කඩිනමින් දෙන බව නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි.
මේ පර්යේෂණ කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුව, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, නාරා ආයතනයට සහාය වේ.
පසුගිය 20 වැනිදා ගිනි ගැනීම හටගත් ‘එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාව තුළ ඊයේ (25) උදෑසන පිපිරීමක් සිදු විය. මේ හේතුවෙන් නෞකාවේ ගින්න තීව්ර වූ අතර, නෞකාවේ ගබඩා කර තිබූ බහාලුම් රැසක් මේ වනවිටත් ගිනි ගනිමින් පවතී. පිපිරීමත් සමඟ බහාලුම් කිහිපයක් මුහුදටද වැටී තිබුණි. නෞකාව මේ වන විට දකුණු පසට ඇලවී ඇති අතර, එහිදී ඇතැම් බහාලුම් මුහුදට වැටී තිබේ. කොළඹ පිටත වරායේ ගිනි ගැනීමට ලක්ව ඇති එකස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්, දැවි තෙල් සහ අබලි මීගමු වෙරළ තීරයේ ජාඇළ, කපුගොඩ, සේත්තුපාඩුව වෙරළ තීරයන්ට ඊයේ (26) අලුයම ගොඩ ගසා තිබේ.
මේ අබලි ද්‍රව්‍ය වත්තල ප්‍රීතිපුර වෙරළ තීරයේ සිට මීගමු වෙරළ තීරය දක්වා කිලෝමීටර් 9ක පමණ ප්‍රමාණයක මේ වන විට පැතිර තිබෙන බව වාර්තා වේ.
වෙරළට ගසා ගෙන එන මේ ද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට දැනුම් දී තිබුණද එම ප්‍රදේශවල ජනතාව එම අබලි ද්‍රව්‍ය හා ඒවායේ ඇති කෑම වර්ග හා ප්ලාස්ටික් ආදිය රැගෙන යන අයුරු දක්නට ලැබේ.
මෙසේ මුහුදට වැටුණු රසායනික ද්‍රව්‍ය අනෙකුත් උපකරණ රැගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර නෞකාව ගිනි ගැනීම නිසා ඇති වූ පරිසර හානිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ වන විටත් එම අධිකාරියේ නිලධාරීන් අදාළ ස්ථාන වෙත ගොස් ස්ථානීය පරීක්ෂණ කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ. මේ නෞකාවේ තිබූ අපද්‍රව්‍ය නිෂ්චිතව හඳුනා ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බැවින් ඒවා කිසිදු හේතුවක් මත රට තුළ එක්රැස් කිරීම, ඇල්ලීම අනතුරුදායක බවද එහි සඳහන් කර තිබේ. මෙමඟින් යම් පරිසර හානියක් වාර්තා වන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරීන්ට හෝ 1981 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසද ඉල්ලීමක් කරයි.