ඉන්දියාවේ ‘C’ කණ්ඩායම ලංකාවට යැව්වත් ඔවුන් තරඟාවලිය ජයග්‍රහණය කරාවි – කම්රාන් අක්මාල්

හිටපු පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩකයෙකු වන කම්රාන් අක්මාල් සිය නිළ යූටියුබ් නාළිකාව ඔස්සේ අදහස් දක්වමින් වත්මන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අනෙකුත් සියලුම රටව අභිබවා ගොස් තිබෙන බවට සදහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම මේ වනවිට පවතින තත්වය අනුව ඉන්දීය කණ්ඩායමට පහසුවෙන් කණ්ඩායම් 03 ක් නිර්මාණය කිරීමට හැකියාවක් ඇති බව සදහන් කර සිටියා. එයට හොදම උදාහරණය ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේදී ක්‍රීඩා කරන විට තවත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවයි.

”මෙහි සම්පූර්ණ ගෞරවය ඉන්දීය ක්‍රිකට් කළමණාකාරීත්වයට හිමිවෙන්න ඕනි. ඔවුන් එකවර කණ්ඩායම් ද්විත්වයක් රටවල් දෙකක ක්‍රීඩා කරනවා. ඔවුන් ඒ තරම් ශක්තිමත්. ඔවුන් එකවර කණ්ඩායම් ත්‍රිත්වයක් ක්‍රීඩා කරවන්න තරම් සවිමත්.

මෙහි විශේෂ ස්තූතිය ඔවුන් රාහුල් ඩ්‍රාවිඩ්ට පිරිනමන්න ඕනි. ඔහු ඉන්දීය ක්‍රිකට් සමගින් වසර 7 – 8 ක් ලගින්ම කටයුතු කරනවා. තරුණ ක්‍රීඩකයන්ව ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන පරිදි ඔහු නිර්මාණය කරනවා. ඉන්පසුව ඔවුන්ව රවී ශ්‍රාස්ති විසින් නිවැරැදිව කළමනාකරණය කරනවා”

යනුවෙන් අක්මාල් සදහන්කර සිටියේය.
එසේම ඉන්දීය කණ්ඩායමට නායකයන්ගේ අඩුවක් නොමැති බව පෙන්වා දුන් අක්මාල් ඒ පිළිබඳව සදහන් කර සිටියේ.

”නායකයන් විදියට මුලින්ම මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායම ඉතාම ඉහළ තැනකට රැගෙන ආවා. දැන් එය විරාට් කෝලි විසින් පවත්වාගෙන යනවා. ඔහුගෙන් පසුව රෝහිත් ශර්මා ඒ සදහා සූදානම් වෙලා ඉන්නවා. ඔහුට ආබාධයක් ඇතිවුවහොත් ලෝකේෂ් රාහුල් සිටිනවා. ඒ නිසා ඔවුන්ට නායකයන්ගේ අඩුවක් නෑ” යනුවෙනි.

එසේම ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පිළිබඳව අදහස් දක්වමින් අක්මාල් සදහන් කර සිටියේ “ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් පරාජයට පත්වූවා. ඉන්දීය C කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යැව්වත් ඔවුන් තරගාවලිය ජයග්‍රහණය කරාවි” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top