කොළඹ තරු 5හේ හෝටලයක පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සම්බන්ධවූ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර එම උපන්දින සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ව ඊයේ (31) පොලිස් අත්අඩංගුවට පත්වුවා.
පසුව ඔවුන් දෙදෙනා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබුවා. ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මේ අතර මෙම සාදයට සහභාගී වූ පිරිස අතර පසුගිය කාලයේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමකට සම්බන්ධ වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සිටින බවටද පිරිසක් විසින් චෝදනා කරමින් සිටියි. ඒ ඇය විසින් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ ඡායාරූපයක් ද පෙන්වමිනි.
එමෙන්ම ඇයත් සමඟ මෙම සාදයට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියද සහභාගි වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම සියලු චෝදනා පිරිසක් විසින් මඩ ගැසීමේ අරමුණ ඇතිව කරන ප්‍රකාශයන් බවට පෙන්වා දෙන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියේ තමන් එම උපන්දින සාදයට සහභාගී වු බවට එම මඩ ගැසීමේ ක්‍රියාවලියට සම්බන්ධ අයට හැකි නම් ඔප්පු කරන ලෙසයි.
ඇය මේ බව පවසා තිබුණේ ෆේස්බුක් සටහනක් තබමිනි