2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුපර් ලීග් තරගමාලාව යටතේ ගැනුණු, බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියේ තෙවැනි තරගය ශ්‍රී ලංකාව විසින් ජයගත් නමුත් එම ජය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරගමාලාවට එක්විය යුතු සමස්ත ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.
අදාළ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 10ක් හිමිවිය යුතු වූ නමුත්, ඉකුත් මාර්තු මාසයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී පන්දු යැවීමට පමණ ඉක්මවා කාලය ගැනීමේ වරද මත දඬුවම් ලකුණු දෙකක් ලබා තිබීම හේතුවෙන් අදාළ ප්‍රසාද ලකුණු 8ක් දක්වා අඩු විය.
කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමෙන් සහ දුෂ්මන්ත චමීරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජවය ලද ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග පැවැති 3 වැනි එක්දින තරගයෙන් ලකුණු 97ක පහසු ජයක් ලැබීමට සමත් වූ අතර අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව තරග 6කින් ලද පළමු ජය එය විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 287ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 42.3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 189ක් පමණි.
සිය එක්දින දිවියේ මංගල කඩුලු 5ක් දවා ගැනීමේ අවස්ථාව සටහන් කිරීමට දුෂ්මන්ත චමීරට එහිදී හැකි විය. තරගයේ වීරයා බවට පත් වූ දුෂ්මන්ත අදහස් දක්වමින් ‘මම පන්දු යැවූ ආකාරය සම්බන්ධයෙන් සතුටු වෙනවා. නැවත දක්ෂතා අතරට පැමිණ හොඳ ආරම්භයක් වෙයි’ යනුවෙන් කීවේය. තරගාවලියට පැමිණීමේදී පීඩනයක් නොතිබූ බවද, හෙතෙම කියා සිටියේය.
ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායක කුසල් පෙරේරා ‘තරගාවලිය පුරා අපේ පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ අංශයන් හොඳින් කටයුතු කළා. පළමු තරග දෙකේදී අපේ එකම කනස්සල්ල වූයේ පිතිකරණ අංශය සාර්ථක නොවීමයි.’ යනුවෙන් කීවේය.