20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ලංකාවට එයි ද..?

මේ වසරේ 20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන ඉන්දියාවේ මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයක පැවැතීම මීට හේතු වී ඇත.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යෑමටද අවධානය යොමු වී ඇති අතර, ඒ පිළිබඳ එමිරේට්ස් ක්‍රිකට් බලධාරීන් සමඟ ද ඉන්දියාව සාකච්ඡා පවත්වමින් සිටී. එහෙත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වීම සඳහා දැනටමත් එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟතාව පළ කර ඇති බැවින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට විකල්ප රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට ඉන්දියාවට සිදු වී ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමට කටයුතු යෙදීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අදහස විමසීමට සිදු වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක් ඇති අතර, ඒවා සාජා, අබුඩාබි සහ ඩුබායි නගරවල පිහිටා තිබේ. එබැවින් ක්‍රීඩකයන් ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂිත වළල්ල ඇතුළත තැබීම තරමක් සංකීර්ණ කරුණක් බවත්, කොළඹ නගරය කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක්ම පිහිටා ඇති බැවින් ක්‍රීඩකයන් කොළඹ නගරය තුළ රඳවා ගැනීමට ඇති හැකියාව කෙරෙහි ද ඉන්දීය ක්‍රිකට් බලධාරින්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. එමෙන්ම සැප්තැම්බර් සහ ඔක්තෝබර් කාලය ඇතුළත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සත්කාරකත්වය දීමට ඇති හැකියාව සඳහන් කරමින් ශ්‍රී ලංකාව මීට පෙර කැමැත්ත පළ කර තිබීම ද ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සැළකිල්ලට ගෙන තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳ අවසන් තීරණය මේ මස 28 වැනිදා වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැන්විය යුතුව ඇත. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමට කටයුතු කළ ද, එහි සත්කාරකත්වයේ අයිතිය ඉන්දියාව සතු වන බව මීට පෙර අයිසීසීය තහවුරු කර තිබිණි. මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ මේ පිළිබඳ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් දෙපාර්ශ්වය අතර සිදු නොවූ බවය. එහෙත් ලෝක කුසලාන තරගාවලිය මෙරට පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවත් ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top