ශ්‍රී ලංකා තේ සඳහා දකුණු අප්‍රිකාවේ ඉහළ ජනප්‍රියත්වයක්.. සමස්ත ඉල්ලුමෙන් 10% ක් ලංකාවෙන්..

ශ්‍රී ලංකා තේ යනු දකුණු අප්‍රිකානු කලාපය තුළ ඉහළින්ම නියෝජනය වන ප්‍රධාන නියෝජිතායතනයක් බවට පත්ව තිබේ. මේ බව තහවුරුව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි “ඇම්බැසඩර් ඩියුටි ෆ්‍රී” අලෙවිසැලෙන් “පිරිසිදු ලංකා තේ” ලබා ගත හැකි බව ප්‍රකාශයට පත් කර තිබීම නිසාය. මෙය දකුණු අප්‍රිකාවේ පිරිසිදු ලංකා තේ පිළිබඳ සංකේතාත්මක ජයග්‍රහණයක් බව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ප්‍රිටෝරියා හි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් 2021 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා තේ මණ්ඩලය, දිල්මා සහ බැසිලර් යන ආයතන සමඟ එක්ව ලංකා තේ සඳහා සන්නාම නැවත දියත් කිරීමේ උත්සවයක් සංවිධානය කළේය. ප්‍රිටෝරියා හි දූත මණ්ඩල 135 ක සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල සේවය කරන 2000 කට අධික රාජ්‍යතාන්ත්‍රිකයින් කෙරෙහි මෙම වැඩසටහනේ විශේෂ අවධානය යොමු විය. දූත මණ්ඩලයේ සම්බන්ධීකරණය තුළින් දිල්මා ආයතනය විසින් ප්‍රිටෝරියා හි තීරුබදු රහිත අලෙවිසැල වෙත නිෂ්පාදන රාශියක් හඳුන්වා දෙන ලදි. මෙය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ට තනි රටක ලෝක මට්ටමේ තේ රස බැලීම සඳහා අවස්ථාවක් නිර්මාණය කරයි.

දකුණු අප්‍රිකාවේ කළු තේවල සාමාන්‍ය මුළු පරිභෝජනය වසරකට මෙට්‍රික් ටොන් 27,000 ක් වන අතර, ශ්‍රී ලංකාව සමස්ත ඉල්ලුමෙන් 10% ක් සඳහා දායක වේ. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක වටිනාකමකින් යුත් දකුණු අප්‍රිකාවේ උණුසුම් බීම වෙළඳපොල තුළ, කළු තේ 5.8% කට හිමිකම් කියයි.

ශ්‍රී ලංකාව හැරුණු විට, දකුණු අප්‍රිකාවට තේ අපනයනය කරන ඉහළම රටවල් වන්නේ පොදුවේ වසරකට මෙට්‍රික් ටොන් 14,000 සිට 18,000 දක්වා අපනයනය කරන, මලාවි, සිම්බාබ්වේ, ටැන්සානියාව සහ කෙන්යාවයි. වෙළඳපල කොටසින් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන “ෆයිව් රෝසස්” යනු දකුණු අප්‍රිකාවේ ඉහළම තේ වෙළඳ නාමය වන අතර, එමඟින් ‘සිලෝන් බ්ලෙන්ඩ්’ සහ ‘පියෝ සිලෝන් බ්‍රෙක්ෆස්ට් ටී’ ඇතුළු තේ වර්ග කිහිපයක් නිෂ්පාදනය කරයි.

දකුණු අප්‍රිකානු කලාපයේ දී උණුසුම් බීම වෙළඳපොලේ ආධිපත්‍යය ලබා ගැනීමේ දී ලංකා තේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ අඩු පාරිභෝගික උනන්දුව වන අතර, වෙළඳපොලේ සැලකිය යුතු කොටසක් කෝපි මඟින් සපුරාලනු ලැබේ. එබැවින් බීම වර්ග වෙළඳපොළ තුළට විනිවිද යාමට නම්, විවිධ පාරිභෝගික කණ්ඩායම්වල අවශ්‍යතා නංවාලීම සඳහා උපායමාර්ගික ප්‍රවර්ධනයන් කිරීම අවශ්‍ය වේ. මෙම කලාපයේ ඉහළ යමින් පවතින ඒක පුද්ගල ආදායම මගින් අගය එකතු කළ තේ සඳහා නව වෙළඳපල කොටස් විවෘත විය හැකි අතර, වෙනස්වන ජීවන රටාවන් ආකර්ශනීය/විවිධ නිෂ්පාදන සඳහා ඉක්මනින් අනුවර්තනය වෙයි. වාර්ෂිකව මිලියන 25 ක් පැමිණෙන සංචාරක කර්මාන්තය ලංකා තේ සඳහා ඊළඟ ඉලක්ක වෙළඳපොල විය යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top