ලාංකියන් ගුණ වැයූ ඊශ්‍රායල අගමැති ‘බෙන්ජමින් නෙතන්යාහුට’ ආණ්ඩු බලය අහිමි වෙයි…

අගමැති බෙන්ජමින් නේතන්යාහුගේ දොළොස් වසරක පාලනය නිමාවට පත්කරමින් ඊශ්‍රායල් පාර්ලිමේන්තුව නව රජයක් බිහිකිරීමට සූදානමින් සිටී. පක්ෂ ගණනාවකින් සැදුම්ලත් සභාගයක් ලෙස ඊයේ (13 වැනිදා) දිනය තුළ එම නව රජය පිහිටුවීමට නියමිතව තිබිණි.

ඒ සමග දෙවසරක් තුළ මැතිවරණ 3ක් පැවැත්වීමෙන් පසුවද පැවැති දේශපාලන අස්ථාවරත්වය නිමාවට පත්වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වුවද නව සභාග රජයට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක් බහුතර ඡන්දයක් පමණි. එබැවින් මෙය ඉතා තියුණු බල වෙනසක් වනු ඇත.

පිහිටු වන නව සභාග රජයේ අගමැති වශයෙන් දක්ෂිණාංශික ජාතිකවාදී දේශපාලනඥයන් වන නෆ්කාලි බෙනට් පත්වීමට නියමිතය. මධ්‍යස්ථ දේශපාලන නායකයකු වන යෙෂ් අතිද් පක්ෂයේ නායක යායිර් ලපීඩ් සමග එහිදී ඔහු දේශපාලන සම්මුතියකට එළැඹ තිබේ.

ඒ යටතේ දෙවසරකට පසුව අගමැති ධුරය හිමිවනු ඇත්තේ ලපීඩ්ටය. බෙනට් යටිනා පක්ෂයේ නායක වන අතර 2023 සැප්තැම්බරය දක්වා අගැමති තනතුර දරණු ඇත.

වත්මන් අගමැති නේතන්යාහු, ඊශ්‍රායලයේ වැඩිම කාලයක් බලය සිටි අගමැතිවරයා වශයෙන් වාර්තාවක් තබා තිබේ. වසර ගණනාවක් තිස්සේ පක්ෂය තුළ සිය බලය රැකගැනීමට සමත් වූ ඔහු ඉදිරියටද ලිකුඩ් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තාවේ. එය දක්ෂිණාංශික දේශපාලන පක්ෂයකි.

නව සභාගයට එරෙහිව ඔහු අදහස් දැක්වූ අතර එය අන්තරාදායක මෙන්ම වංචනික හවුලක් බව පැවසීය. හැකි විගස එය පෙරලා දමන බවද ඔහු කියා සිටී. තමාට එරෙහිව එල්ලවූ අල්ලස්-දූෂණ ආදී චෝදනා අගමැති නේතන්යාහු ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු 1996 – 1999 වකවානුවේ පළමුව බලයේ සිටි අතර අනතුරුව 2009දී බලයට පත්ව මේ දක්වාම බලයේ සිටියේය.

– ධම්මික සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top