සියලු තරඟ පරාද උනත් උතුරු කොරියාව කරපු ⁣වැඩෙන් ශ්‍රී ලංකාව අවසන් වටයට සුදුසුකම් ලබයි…

චීනයේදී පැවැත්වීමට නියමිත ආසියානු සම්මේලන කුසලාන 2023 පාපන්දු තරගාවලියේ අවසන් සුදුසුකම් ලැබීමේ වටය සඳහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වූයේය.

ආසියානු පාපන්දු සම්මේලනය විසින් කළ නිවේදනයකට අනුව රටවල් 24ක් මෙම වටය සඳහා තරග වැදීමට නියමිත අතර ඉන් කණ්ඩායම් 22ක් මේ වනවිට සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. මෙම කණ්ඩායම් 22 අතරට ඉන්දියාව, මාලදිවයින, කුවේට්, ටර්ක්මෙනිස්ථානය, තායිලන්තය සහ පිලිපීනය වැනි රටවල් ද ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහභාගි වූ ලෝක කුසලාන සහ ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේදී සියලු තරග පරාජය වුවද, ශ්‍රී ලංකාව තරග වැදුණු කාණ්ඩයේ සිටි උතුරු කොරියාව මෙම තරගාවලියෙන් ඉවත් වීම මත ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිවී තිබේ.

ඉකුත් සතියේදී නිමාවූ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේදී ලෙබනනය සහ දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වුවද, එහිදී දැක්වූ දක්ෂතා සාධනීය මට්ටමක පැවතිණි. ඒ අනුව ශ්‍රී ලංකාවට 2023 ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනු ඇතැයි ක්ෂේත්‍රයේ මතය වී තිබේ.

මේ අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට හේතුවෙන් කල් දැමූ පාපන්දු සුපර්ලීගය රටට බලපෑ කොවිඩ් අවදානම මත තවත් ඉදිරියට කල් දමන්නට පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය ජූලි 02 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබුණු අතර රටේ තත්වය යහපත් අතට හැරුණු වහාම මෙම තරගාවලිය පැවැත්වෙනු ඇතැයි විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටී.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top