පින්ලන්තයේ ‘Hundred’ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ ඕමානයේ මස්කට් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකීය දැරියක් වන සෙනුලි බිනාරා ය. ඇය ලොව ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස පත්වීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයකි.
තවමත් 14 හැවිරිදි මේ දැරිය අද වනවිට ලොව බොහෝ රටවල කතාබහට ලක්වූ අයෙක් වීමත් ජාත්‍යන්තර සමුළුවලද කතාකිරීමට තරම් දක්ෂ වී ඇති බවත් කිය යුතුය. සෙනුලි මෙතරම් කුඩා වයසේදී ලොව පිළිගැනීමට ලක්වුණේ කොහොමද? අද වනවිට ඇය පරිසරය රැකීමට සංවිධානයක්ද ආරම්භ කර තිබෙන්නීය. ඒ පරිසරය රැකගැනීම හා ලෝකය වඩාත් යහපත් කරන්නට ඇයගේ තිබෙන උනන්දුව නිසාවෙනි.
ඔබත් මෙතරම් දක්ෂ මේ පුංචි දැරිය ගැන දැනගන්න කැමති ඇති නේද? අන්තර්ජාලය ඔස්සේ ඇය සමඟ කතාබහ කිරීමේ අවස්ථාවක් පසුගියදා මට හිමිවුණි. මේ ලෝකෙ පුරා නම කියැවුණු ශ්‍රී ලාංකේය දැරියගේ කතාවයි.
“මම දැනට ජීවත් වෙන්නේ ඕමානයේ. ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. ඉගෙනීමේ වැඩ කරගෙන යන අතරේ මම අමතර ක්‍රියාකාරකම් ගොඩක් කරනවා. ඒ වගේම මම ඕමානයේ රාජකීය ඔපෙරා හවුස් හි දිනපතා සංගීත පුහුණුවීම් කටයුතුත් කරනවා. ලංකාවෙන් එහි ඉගෙනගන්න ලැබුණු පළමුවැනි ශිෂ්‍යාව මමයි. ගායනය හා කථික අංශ දෙකෙන්ම මම ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත්තා.
ස්වීඩනයේ ස්ටොක්හෝම්වල පැවැත්වූ ‘I-Sing World’ තරගාවලියේ අනුශූරතාවයත් එහි වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර සම්මානයත් (Best Audience Performer Award), ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වූ ‘Euro Pop Singing’ තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානයත් (Special Jury Award), ඕමානයේ ‘Oman Gavel Club Public Speaking’ තරගයේ අනුශූරතාවයත් මම හිමිකර ගත්තා. ඒ වගේම ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ‘Rhetoric: The Art of Persuasive Writing & Pubic Speaking’ පාඨමාලාවෙන් 95% ක ලකුණු ලබාගත්තා. එවැන්නක් හිමිකරගත් ශ්‍රී ලාංකීය දැරිය මා වෙන්නැති.
මේ සියල්ල නිසා ලෝකෙ පුරා මගේ නම තියාගන්න පුළුවන් වුණා. මම පරිසරයට ඉතාමත්ම ආදරය කරන කෙනෙක්. ඒ වගේම සොබාදහම් මව රැකගන්න මම මහන්සි වී වැඩකරනා ළමයෙක් විදිහට ‘Wake up Mom’ නමින් මගේ පළමු ගීතය කළා. එහි පද රචනය, ගායනය, තනු නිර්මාණය සිදු කළේ මමයි. තරිඳු මාමා තමයි සංගීත නිර්මාණය කළේ. මට අවශ්‍ය වුණේ විනාඩි කිහිපයකින් අපේ සොබාදහම් මවගේ වැදගත්කම අවධාරණය කරන්නයි.