‘නාඩගම්කාරයෝ’ ගැන නම් කතා කොට තිබෙන තරම දැන් නම් මදැයි කියා විටෙක සිතෙන තරම්ය… නමුත් තවත් විටෙක සිතෙන්නේ ‘නාඩගම්කාරයෝ’ ගැන කොතෙක් කතාබහ කළත් මදි නොවේදැයි කියලාය ඒ හින්දාම මේ කතාබහටද ‘නාඩගම්කාරයෝ’ ටෙලි කතාවෙන්ම ආරම්භය ගන්නට සිතුවෙමු. ‘නාඩගම්කාරයෝ’ ගැන ස්වල්ප වශයෙන් හෝ කතාබහ කරන විට ‘සරා’ව වාගෙම ‘මාලන්ද අමතක කරන්නට බැරිය. ‘සරා’ හෙවත් සජිත අනුත්තර කොතැනක හෝ පත්තර පිටුවක කියා තිබුණේ.., ඔබ ‘සරා’ගේ චරිතය කොයිතරම් අගයන්නේද? ඒ තරමටම මාලන්ගේ චරිතයද අගය කළ යුතු යැයි’ කියාය. ‘කෝකිල පවන්’ කියන්නේ අති දක්‍ෂයෙක්.., සජිත් ඉහත වර්ණනාවට තවත් ඇති පදමට ලුණු-ඇඹුල් දමා රස කළේ එහෙමය. සත්තකින්ම ‘කෝකිල පවන්’ ඒ කිවුවා වාගෙම අති දක්‍ෂයෙකි. පසුගිය දවසක ‘දෙරණ’ ටී.වී. ඔස්සේ ‘මා නොවන මම’ විශේෂාංගය හරහා ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන පිරුලද බොරු කළේය.., ඒ කියන්නේ කෝකිල පවන් ජයසූරිය අති දක්‍ෂ නළුවෙක් වාගේම අපූර්වතම හඬක් හිමි ගායකයෙකි. ‘අහන්නට වටින කටහඬක්’ යැයි කියා ප්‍රවීණ නිවේදක සංඛ අමර්ජිත් කෝකිලව මුරුංගා අත්තකට ඔසවා තැබුවේද ඒකය. ඉතින් වර්ණනාව හොඳටම ඇතිය මාලන් හෙවත් කෝකිල පවන් ජයසූරිය ඔහුගේ මේ දවස්වල වැඩකටයුතු ගැන විස්තර පවසා තිබුනා.
ඉතින් පළමුවෙන්ම කියමු බලන්න ඔයාට කතා කරන්න ඕනෑ විදිය ගැන? ඒ කිව්වේ.., ඔබ දුන් ආරම්භය මට පැහැදිලි මදියි වාගේ සුඔබට මාලන් කියන්නද, කෝකිල කියන්නද? ඔබ කැමැති විදියක්. ඒ ඕනෑම විදියකට මම කැමැතියි. අනෙක ඔබ මෙතැනදී දෙගිඩියාවට පත්වුණා වාගෙම මමත් සමහර වේලාවට දෙගිඩියාවෙන් ඉන්නවා. මම කෝකිලද? එහෙමත් නැත්නම් මාලන්ද කියලා හිතාගන්න බැරිව. ඒ මොකද මඟතොටදී මාව දකින හුඟදෙනෙක් මට අමතන්නෙ මාලන් කියලයි. එය ඔබට සතුටක්ද කෝකිල? පැහැදිලිවම එය මට මහා සතුටක්. ඒ වාගෙම තෘප්තියක්. එහි අදහස මාලන්ව පට්ට විදියට මිනිසුන්ට වැදිලා. නළුවකුගේ කාර්යභාරය එයයි. නාට්‍ය පොකුරක රඟපාලා හැමදාම ටී.වී. ස්ක්‍රීන් එකේ හිනාවෙනවට වැඩිය… හිතට වැදෙන එකම එක චරිතයකට ඉඳහිටක හෝ මැදිවීම වටිනවා. ඔබ කියන්නේ හැම ටෙලියකම රඟපාන එක නෝන්ඩියක් කියලද කෝකිල? අපොයි නැහැ. ඒ ප්‍රශ්නයට ‘ඔව්’ කියන උත්තරය මට දෙන්න බැහැ. මම මෙතැනදී කිව්වෙ මගේ අදහස විතරයි.
රංගන කලාව තුළ ඔබ වැඩියෙන්ම ඇලුම්කරන චරිතය මාලන්ද? ‘මාලන්’ මගේ කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයයි. ඒ සන්ධිස්ථානය තුළ ‘තල මල පිපිලා’ වේදිකා නාටකයේ ‘හේතු’ සහ ‘සිරි රජසිරි’ චිත්‍රපටයෙහි ‘සිරිමල්ද මාලන් සමග කරට කර සිටිනවා. ඔබට කදිම ආරම්භයක් දුන්නේ ‘තලමල පිපිලා’ හී ‘හේතු’ගේ චරිතය? කියන්න වචන නැහැ ආයේ… ‘හේතු’ නිසා මා ලද කලානුරූපී සම්පත් අප්‍රමාණයි. ප්‍රවීණයන් සමග ඇසුර, රට වටා චාරිකා හොඳ රංගන හරඹයන් සහ අමතක කරන්න බැරි ඕඩියන්ස් චියර් එකක් මගේ රංගන ජිවිතයට ලැබුණා. ‘සිරි රජ සිරි’ චිත්‍රපටයෙහි සිරිමල්ද ඒ හා සමානයි. දහවැනි වතාවට චීනයේ පැවැත්වුණු අන්තර් ජාතික ළමා චිත්‍රපට සම්මාන උළෙලෙහි හොඳම ළමා නළුවාට හිමි සම්මානය මට ලැබුණා.
ඔබ නළු වෘත්තිය ගැන කලකිරීමෙන්ද ඉන්නේ? අපොයි නැහැ… මම නළු වෘත්තියට අසීමිතව ආදරෙයි. මේක මගේ ඇඟෙන්ම ආ දෙයක්. මම එයට තදින් ඇලුම් කරනවා. ප්‍රවීණයන් මේ ගැන නිහඬව හිටියදී ඔබ කතා කරන්නේ ඇයි? ප්‍රවීණයන් නිහඬ නැහැ. ඔවුන් දන්නව කොයි තරම් කතා කළත් ඵලක් නැහැ කියලා. ඒ නිසා ඔවුන් මුනිවත රකිනවා. ‘කලාකරුවන් කියන්නේ ජාතියක් පිනවන පිරිසක්. සම්මානනීය ප්‍රවීණ නිර්මාණ ශිල්පිනී තුෂාරි අබේසේකර දවසක් මට සෙට් එකකදී කිව්වා, ‘කලාකරුවා දෙවැනි වන්නේ දෙවියන්ට විතරයි කෝකිල’ කියලා… කවුරුත් කියනවා වාගේ ජාතියක් පිනවන ඒ වටිනා පිරිසට තම නිර්මාණ මෙහෙවරට අවැසි වටිනාකම නොදෙන්නේ ඇයි කියන්න මා දන්නේ නැහැ.., අනෙක් කාරණය කලාකරුවනට කාර්යාලයක පියන් කෙනෙකුට තියෙන අනන්‍යතාවයවත් නැහැ. පැහැදිලිව කියනව නම් බැංකු ණයක් ගන්න, ගෙවීමේ ක්‍රමයට සුඛෝපභෝගී භාණ්ඩයක් ගන්න අපට ‘පේ ෂීට්’ එකක්වත් තියෙනවද කියන්න බලන්න.
දැන් ඔබ චෝදනා කරන්නේ කාටද ඔය? මම චෝදනා කරන්නේ වගකිවයුත්තන්ට. සිනමාව, ටෙලිකලාව හෝ වේදිකා කලාව කර්මාන්තයක් ලෙස රැකගතයුතු පිරිසට. ඔය කියන ‘පිරිස’ වත්මනේ රජයද? වත්මන් කියන හැඳින්වීම එතැනට අදාළ නැහැ. හැම රජයක්ම මෙයට වගකිව යුතුයි. කලාකරුවා කියන විචිත්‍රවත් පුද්ගලයාව රකින යම් කර්මාන්තයක් එදා තිබුණා. හැබැයි අද නැහැ. අද එය කඩාවැටිලා. අන්න ඒ කඩාවැටීම සිදුවන තුරු බලා සිටි… එයට කිසිදුම පිළියමක් නොකළ අදටත් ඔහේ බලා සිටින හැම රජයක්ම කලාකරුවා වෙනුවෙන් වග උත්තර බඳින්නට ඕනෑ. ප්‍රවීණයන් සහ නවකයන් එක්ව හඬක් නැඟුවහොත් උත්තරයක් ලැබේවිද? එවැනි අවස්ථා අපමණයි. එක්ව කතා කළ තැන් ඕනෑ තරම් තිබුණා. හැබැයි සිදුවූ යමක් තවමත් අපේ සිතට දැනුණේ නැහැ. අලුත් මෙහෙවරක් දියත් කරන්නට ඔබ වැනි තරුණ පිරිසක් එකතු වුණොත්? කවදාවත් ඒ වෙනුවෙන් කිසිවක් සිදුවන්නේ නැහැ. අමතක නොකර මේ වචන කිහිපය සටහන් කරන්න. කෝකිල පවන් ජයසූරිය ලෙස මට දැනෙනවා. මට ස්ථිරවම කියන්නට පුළුවන්. ලෝකේ මොන රටක ‘ආට්’ එකට තැනක් අවධානයක් ලැබුණත්… ශ්‍රී ලාංකේය කලාව හෝ වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව කේන්ද්‍රකර ගත් කර්මාන්තය තුළ අපේ කලාකරුවනට කිසිම අගයක් හෝ අනන්‍යතාවයක් කිසිම රජයකින් ලැබනේනේ නැහැ. ඔබ එය කියන්නෙ වගකීමෙන්ද කෝකිල? ඔව්… මම කියන්නේ සම්පූර්ණයෙන්ම හොඳ වගකීමකින්. මේ සිදුවන්නේ ඔබ පොරක් ලෙස කැපී පෙනෙන්නට දරන වෑයමක්ද? කවදාවත් නැහැ. මේ සිදුවන්නේ, ‘විය යුතු යමක් පොදු මෙහෙවරක් ‘මම’ යන විෂය වෙනුවට එතැන තිබෙන්නේ අසාධාරණයට ලක්වූ පොදු කලාකරුවන් සහ ඔවුන් රැකිය යුතු කර්මාන්තය වෙනුවෙන් නැඟූ හඬක්.