ඇමෙරිකාවේ නාසා ආයතනය නව ගවේෂණ මෙහෙයුමකට සූදානම් වෙයි. මෙය ග්‍රහක ගවේෂණ මෙහෙයුමකි. නාසා ආයතනය ගවේෂණයට තෝරා ගෙන ඇත්තේ සයිකේ 16 (Psyche 16) නමැති ග්‍රහකයයි. මේ මහා විශ්වයේ මෙතෙක් හඳුනාගෙන ඇති වටිනාම වස්තුව ලෙස මෙම ග්‍රහකය හඳුන්වා දිය හැක. ‘සයිකේ 16’ නිර්මාණය වී ඇත්තේ පාෂාණවලින් හෝ අයිස්වලින් හෝ නොවේ. මිල කළ නොහැකි වටිනා ලෝහවලිනි. මේ ග්‍රහකය කැබැලි කර මනුෂ්‍යවර්ගයා අතරේ බෙදා දුන්නොත් ඒ සෑම කෙනකුම බිලියනපතියකු වනු ඇත. ‘සයිකේ 16’ ග්‍රහකය පළමුවෙන්ම සොයා ගැනීම සිදුවූයේ අද ඊයේ නොව, 1852 වසරේදීය. මෙහි පළල සැතපුම් 124 කි. මෙම ග්‍රහකය මූලික වශයෙන් අධ්‍යයනය කිරීමට නාසා ආයතනය ලබන 2022 වසරේ දී කුඩා රොබෝ ගවේෂණ යානයක් පිටත් කර හැරීමට නියමිතය. මේ යානය ග්‍රහකයට සමීප වනු ඇත්තේ සිවු වසරකට පසු 2026 වසරේදීය. ඇමෙරිකාවේ නාසා ආයතනය අයිස්වලින් හෝ පාෂාණවලින් නිර්මාණය නොවුණු මුළුමනින්ම වටිනා ලෝහවලින් පමණක් නිර්මාණය වුණු ග්‍රහකයක් ගවේෂණය කරන පළමු අවස්ථාව මෙය වනු ඇත. මෙම ග්‍රහකය ප්‍රධාන වශයෙන් නිර්මාණය වී ඇත්තේ ලෝහමය යකඩ සහ නිකල්වලින් යැයි හඳුනාගෙන තිබේ.
‘සයිකේ 16’ ග්‍රහකය ඇත්තේ අඟහරු සහ බ්‍රහස්පති අතරේය. බ්‍රිතාන්‍යයේ ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට මෙම ග්‍රහකයත්, අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී, සිදුවුණු හැල හැප්පීම් නිසා කැබැලි වී ඉතිරි වුණු කොටසකි. නාසා ආයතනය විශ්වයේ ඇති ග්‍රහක නිරීක්ෂණය කරන්නේ ඒවායේ උෂ්ණත්වය මැන බැලිය හැකි ක්‍රමවේදයක් භාවිතයට ගනිමිනි. මෙම නව ක්‍රමවේදය නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා හි ‘කැල්ටෙක්‘ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන්ය. ග්‍රහකයක පෘෂ්ඨයේ ඇත්තේ පාෂාණ ද අයිස් තට්ටුවක් ද නැතිනම් ලෝහමය කොටස් ද යන්න නිවැරදිව හඳුනා ගැනීම ඒ අනුව සිදුවෙයි.
‘‘ඇත්තම කීවොත් ‘සයිකේ 16’ අසාමාන්‍ය ග්‍රහකයක්. අසාමාන්‍ය ග්‍රහවස්තුවක්. එහි සම්භවය කුමක්දැයි අපට නිවැරදිව පැහැදිලි කරන්න විදියක් නැහැ. මෙම ග්‍රහකය, අවාසනාවන්ත ලෙස හැලහැප්පීම් සහ පිපිරීම්වලට ලක්වුණු කුමක් හෝ ග්‍රහලොවකින් කැඩී වෙන්වුණු කැබැල්ලක්. මේ ග්‍රහකයේ මතුපිට සියයට 30 කට වඩා ඇත්තේ ලෝහ. පෘථිවියේ අප නොදන්නා අපට ආගන්තුක නව ලෝහ පවා එහි තිබෙන්න පුළුවන්’’ යැයි නාසා පර්ෙය්ෂකයෝ පැහැදිලි කරති. සයිකේ 16 ග්‍රහකය අධ්‍යයනය කිරීම හරහා පෘථිවියේ ආරම්භය සම්බන්ධයෙන් පමණක් නොව, පෘථිවියේ ලෝහ සම්බන්ධයෙන් ද රහස් රැසක් අනාවරණය කර ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙයි. කැල්ටෙක් පර්ෙය්ෂකයන් පිරිසක් ද 2022 දී ආරම්භ කරන සයිකේ 16 ගවේෂණ මෙහෙයුමේදී නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ‘ඩේලිමේල්‘ වෙබ් අඩවිය වාර්තා කර තිබේ