Lanka Latest news site

රේගුවෙන් නිදහස් ක‍රගත් සහල් කිලෝ මිලියනය

Lanka Latest news site

 

විවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්වල ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79 ක මෙම සහල් තොගය පැවති බවයි ඔහු කියා සිටියේ.
වරායේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සමග ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද එක්වුණා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා කොළඹ වරායේ ශ්‍රී ලංකා රේගුවට අයත් පරිශ්‍රවල සිදුකළ සංචාරයේදී නිරීක්ෂණය කළ කරුණු සාකච්ඡා කිරීම සඳහායි මෙම හමුව කැඳවා තිබුණේ.

කොළඹ වරායේ පවතින අධික තදබදය අවම කිරීම සඳහා දැනට රේගුව මගින් එහි රඳවාගෙන සිටින කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදා හැරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය සඳහන් කළේ මෙම කන්ටේනර්වල සහල්වලට අමතරව කරුංකා සහ කහ තොග විශාල වශයෙන් පවතින බවයි. ඒ අනුව අදාළ කන්ටේනර් ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ මුදා හැරීමට කටයුතු කෙරෙනු ඇති.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදාළ කන්ටේනර් අය විය යුතු ප්‍රමාද ගාස්තුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බවයි කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top